සේනා දළඹුවා ඉන්දියාවේ සිට අපේ රටට බීජ මගින් නොව සුළඟ මගින් පැමිණෙන්නට ඇතැයි සැකකරන බව ශ‍්‍රී ලංකා මහවැලි අධිකාරියේ කෘෂි අධ්‍යක්‍ෂ නෙවිල් රාජපක්ෂ මහතා ඊයේ (27 දා) පැවැසීය.

ඇතැමුන් බීජ මගින් සේනා දළඹුවා මෙරටට පැමිණි බව පැවැසුවත් බීජ ගෙන්වීමේදී අදාළ කාර්යයන් සඳහා සති කිහිපයක් නැවේ සහ රේගුවේ ගතවන බවත් එම කාලය තුළ සේනා දළඹුවාට හෝ දළඹු බිත්තරවලට ජීවයක් පැවැතිය නොහැකි බවත් ඒ මහතා කීය.

සේනා දළඹුවාගේ සළඹ අවස්ථාවේ සුළඟ සමග කිලෝමීටර් 100 කට වැඩි දුරක් ගසාගෙන යෑමට හැකි නිසා මෙම සේනා දළඹුවා ඉන්දියාවේ සිට පැමිණෙන්නට ඇතැයි සැකකරන බව ද ඔහු කීය.

සේනා දළඹුවා මර්දනය කිරීම සඳහා මේ වනවිට කෘෂිකර්ම
දෙපාර්තමේන්තුව විසින් ස්පර්ශ කෘමිනාශක 05 ක් ගොවීන්ට හඳුන්වා දී තිබෙන බව ද ඒ මහතා කීය. ඉන්දියාවේදී සන්නමන කෘමිනාශක (ගසට උරා ගන්නා) හඳුන්වාදී සේනා දළඹුවා මර්දනය කිරීමට පියවර ගෙන ඇතත් සන්නමන කෘමිනාශක යෙදීමෙන් මනුෂ්‍ය ශරීරයට අහිතකර බලපෑම් සිදුවිය හැකි නිසා ඒවා හඳුන්වා දීමට කටයුතු කර නැතැයි ද ඒ මහතා කීය.

මේ වන විට මහවැලි කලාප 10 තුළ වගා කර ඇති බඩ ඉරිඟු හෙක්ටයාර් 3000 න් 2500 කට දළඹු හානිය ඇතිව තිබෙන නිසා ජනාධිපතිවරයාගේ උපදෙස් මත ඒ ඒ කලාපවලට අදාළ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කලාප නිලධාරීන්, ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ කලාප නිලධාරීන් මහවැලි අධිකාරියේ කෘෂි නිලධාරීන් මහවැලි අධිකාරියේ නිලධාරීන්, විශ්වවිද්‍යාල හා කෘෂි විද්‍යාල සිසුන් සහභාගි කරවාගෙන මහවැලි කලාපයේ ගොවීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙන බව ද නෙවිල් පෙරේරා මහතා කීය.

මේ වන විට දේශීය බඩඉරිඟු බීජ ප‍්‍රබේදවලට වඩා විදේශයෙන් ගෙන්වූ බීජ  ප‍්‍රබේදවලට සේනා දළඹු හානිය බලපා ඇති බව හෙළිවී ඇතැයි කී ඒ මහතා හානියට
පත්ව තිබෙන බඩඉරිඟු වගාවන් කපා ගිනිතබා විනාශ කිරීමත් ලබන අපේ‍්‍රල් ආරම්භ වන යල කන්නයේදී බඩඉරිඟු වෙනුවට තල, මුං, කව්පි වැනි බීජ වගා කිරීමට ගොවීන්ට උපදෙස් දී තිබෙන බවත් කියා සිටියේය. බඩඉරිඟු ගසේ බඬේට හානි කරන බවත් තල, මුං, කව්පි වැනි භෝග වලට පලිබෝධනාශක ස්පර්ශවන ආකාරයට යෙදීමට හැකි නිසා දළඹු හානිය අවම කරගත හැකි බවත් ඒ මහතා කීය.

මේ වනවිට රටේම බඩඉරිඟු වගා කළ හෙක්ටයාර් 480000 ක ප‍්‍රමාණයෙන් 80% පමණ විනාශයක් සිදුව ඇති බවට නිරීක්‍ෂණය වී ඇති බවත් එම විනාශ වූ ගොවිබිම් වෙත වන්දි ලබා දීමට රජය කටයුතු කිරීමට ඊට අවශ්‍ය දත්ත ගොවිබිම් වලින් ලබා ගනිමින් සිටින බවත් ඒ මහතා කීය.

කෙසෙල් වගාවට සහ වී වගාවට සේනා දළඹුවා හානි කර ඇති බව ඇතැමුන් ප‍්‍රකාශ කළත් ඒවා පරීක්‍ෂා කිරීමේදී එම දළඹුවන් සේනා දළඹුවන් නොවන බවට හඳුනාගෙන තිබූ බව ද ඒ මහතා තවදුරටත් කීය.

-චමින්ද සිල්වා-