ශ්‍රී ලංකාවේ 71 වැනි ජාතික  දින උත්සවයේ විශේෂ ආරාධිත අමුත්තා ලෙස මාලදිවයින් ජනාධිපති ඉබුහිම් මොහොමඩ් මුසොලීන් මහතා සහභාගි වන බව අභ්‍යන්තර හා ස්වදේශ කචයුතු සහ පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසීය.

ජාතික දින උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගිත්වයෙන් පෙබරවාරි මස 4 වැනි දින පෙරවරු 8.00 ට කොළඹ, ගාලුමුවදොර පිටියේදී අභිමානවත් අයුරින් පැවැත්වෙන බවද ඇමැතිවරයා සඳහන් කළේය.

71වැනි ඡාතික නිදහස් දින සැමරුම් වෙනුවෙන් පෙබරවාරි 01 වැනි දා සිට 07 වැනිදා දක්වා සෑම රජයේ ගොඩනැගිල්ලකම ජාතික කොඩිය එසවීමට සහ පෙබරවාරි 03 සහ 04 දිනවලදී එම ගෙඩනැහිලි විදුලි ආලෝකයෙන් අලංකාර කිරීමටත් රජය උපදෙස් දී ඇත.


පෙබරවාරි 01 වැනිදා සිට 07 වැනිදා දක්වා වූ සතිය තුළ සෑම රජයේ, ව්‍යාපාර ස්ථානයකම ඡාතික ධජය ඔසවන ලෙස මහජනතාව ගෙන් ඉල්ලා සිටින බව අමාත්‍යවරයා පැවසීය. මෙවර ජාතික නිදහස් දින උළෙල නර්තන හා වාදන ශිල්පීන් 856 දෙනකු සහභාගී වන සංස්කෘතික පෙරහරකින්ද ත්‍රිවිධ හමුදාවේත් පොලීසියෙන් සිවිල් ආරක්ෂික බළකායේ සහ ඡාතික ශිෂ්‍යභට බළකායේ ආචාර පෙළපාළියකින්ද විචිත්‍රවනු ඇත. ප්‍රධාන ඡාතික දින උළල කොළඹ පැවැත්වෙන බැවින් ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල හැර දිවයිනේ අනෙකුත් සෑම දිස්ත්‍රික්කයකම ප්‍රධාන නගරවල දිස්ත්‍රික්ලේකම්වරුන්ගේ මෙහෙයවීමෙන් ජාතික දින උළෙල පැවැත්වීමට කටයුතු යොදා ඇති බවද ඇමතිවරයා සදහන් කළේය.

කොළඹ  නිදහස් චතුරස්‍රයේ පිහිටි නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය  ඩී.එස්. සේනානායක මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම 4 වැනිදා උදෑසන සිදු කෙරේ. ජාතික නිදහස් දිනය වෙනුවෙන්, පෙබරවාරි 02 වැනිදා රාත්‍රී 9.30 සිට කොළඹ නිදහස් චතුරස්‍රයේදී සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනයක් පැවැත්වෙන අතර 03 වැනිදා උදෑසන 7.00ට ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේදී මහ සඟරුවනට හීල් දානය පිරිනැමේ.

 හින්දු ආගමික වතාවක් 04 වැනිදා උදෑසන 6.30ට කොළඹ 04, මානික්කපිලෙයාර් කෝවිලේදී පැවැත්වෙන අතර ඉස්ලාම් ආගමික වතාවත් එදින පෙරවරු 6.00ට ඡාවත්ත ජුම්මා මස්ජිදයේදී පැවැත්වේ.

රෝමානු කතෝලික  මෙහෙය 04 වැනිදා උදෑසන 6.15ට කොම්පඤ්ඤවිදිය ශුද්ධ වු ජපමාල මාතා ස්ථානයේදීත්, ක්‍රිස්තියානි මෙහෙය එදිනම උදෑසන 6.15 සිට කොළඹ 06. මායා විදියෙහි පිහිටි ප්‍රෙස්බිවේරියන් දේවස්ථානයේදීත් පැවැත්මට නියමිතයි.

-නිමල කොඩිතුවක්කු-