ඇල්පිටිය, නුගේතොට ප්‍රදේශයේ ගරාජයක මුවාවෙන් පවත්වාගෙන ගිය ආයුධ කම්හලක් වටලා ගිනි අවියක් හා ගිනි අවි නිෂ්පාදනය කිරීමට යොදා ගන්නා උපකරණ තොගයක් සමඟ සැකකරුවකු පෙරේදා (29දා)
දහවල් ඇල්පිටිය පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු ඊයේ (30දා)  බද්දේගම මහෙස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

සැකකරු ඕනෑම වර්ගයක ගිනි අවියක වීඩියෝවක් පරිගණකයක් මඟින් නිරීක්ෂණය කර එම ගිනි අවිය
නිෂ්පාදනය කිරීමේ සුවිශේෂී හැකියාවක් සහිත අයකු බවද ඇල්පිටිය පොලිසිය කියයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 35 හැවිරිදි මීමැදුම, බද්දේගම පදිංචිකරුවෙකි. ඇල්පිටිය පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක ජනක සම්පත් මහතාට ලැබුණු තොරතුරකට අනුව වැටලීම සිදු කර සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු සමඟ ගිනි අවි නිෂ්පාදනය කිරීමට යොදා ගන්නා ලේත් මැෂින් එකක්, වෙල්ඩින් ට්‍රාන්ස්ෆෝමරයක්, පරිගණක කොටස් තොගයක්, නිෂ්පාදනය කරන ලදී. ගිනි අවි කොටස් විශාල ප්‍රමාණයක් හා නිෂ්පාදනය කරන ලද අංගසම්පුර්ණ ගිනි අවියක් ඇල්පිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු කිසිදා පාසල් නොගිය අයකු බවත් එසේ තිබියදී පරිගණක භාවිතය සහ ගිනි අවි නිෂ්පාදනය පිළිබඳව හසළ දැනුමක් ලබාගෙන තිබෙන බවත් ඇල්පිටිය පොලිසියේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

සැකකරු කොපමණ කාලයක සිට ගිනි අවි නිෂ්පාදනය කරන්නේද යන්න පිළිබඳව සහ සැකකරු කොපමණ ගිනි අවි ප්‍රමාණයක් නිපදවා තිබේද යන්න සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පවන බවද ඔහු නිපද වූ ගිනි අවි අලෙවි කර ඇත්තේ කුමන පුද්ගලයන්ටද යන්න සම්බන්ධයෙන් සොයා බලන බවද ඇල්පිටිය පොලිසියේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

-දම්සාරි ලියනගේ-