තමන්ට එරෙහිව ඇති අධිකරණ අපහාස නඩුවේදී තමා වෙනුවෙන් සාක්කිදීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු විවිධ තරාතිරම්වල පුද්ගලයන් 12 දෙනකුගේ නම් ඇතුළත් ලැයිස්තුවක් රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇත.

විදානගම නීතීඥ සමාගමේ උපදෙස් පරිදි ගොනුකර ඇති මෙම සාක්කිකරුවන්ගේ ලැයිස්තුවට පුවත්පත් කර්තෘවරුන්, විද්‍යුත් නාලිකා ප්‍රධානීන්, ඡනමාධ්‍යවේදීන් මෙන්ම සාමාන්‍ය  පුද්ගලයන් ද ඇතුළත් කර ඇත.

සාක්කියට කැදවීමට අවසර ඉල්ලා ඇති පුද්ගලයන් අතර  'රාවය'
හිටපු කර්තෘ වික්ටර් අයිවන්, ජනාධිපති නීතීඥ උපුල්
ජයසුරිය, ජනතා විමුක්ති පෙරමුණ මාධ්‍ය ඒකකයේ ප්‍රධානියා, සිරස, හිරු, දෙරන, එම්.ටී.වී. විද්‍යුත් නාලිකාවල ප්‍රධානිහු. පාරිලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක, අධිකරණ සේවා කොමිසමේ ලේකම්වරයා, පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා, ඩෙලි මිරර් පුවත්පතේ කර්තෘ, අනිද්දා පුවත්පතේ කතෘ කේ.ඩබ්ලිව් ජනරංඡන, ගවේෂණාත්මක නිදහස් මාධ්‍යවේදී කසුන් පුස්සේවෙල, ''උසාවිය නිහඬයි'' චිත්‍රපටයේ අධ්‍යක්‍ෂ
ප්‍රසන්න විතානගේ සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයාද වෙති.

 මෙම සාක්කිකරුවන්ට අමතරව අගවිනිසුරු නලීන් පෙරේරා
මහතා, අගවිනිසුරු ධුරයට පත්වූ අවස්ථාවේ දී පිළිගැනීම උත්සව සභාව අමතා කළ කතාව සහ වික්ටර් අයිවන් මහතා ලියු 'නොනිමි අරගලය' කෘතිය ද අධිකරණ ලේඛන වශයෙන් අධිකරණයට ඉදිරිපත් කිරිමට ද අවසර ඉල්ලා ඇත.