https://www.gossiplankanews.com/2019/01/ranjan-sirasa-video.html#more
රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට එරෙහි අධිකරණ අපහාස නඩුව සිසිර ද ආබෲ, ප්‍රසන්න ජයවර්ධන සහ විජිත් මළගොඩ මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගැනිණි.
අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන මහතාගේ මෙහෙයවීම මත සාක්ෂි දුන් සිරස නිවීස් ෆස්ට් ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ගයාන් සම්පත් මහතා මෙසේ  කීය.
"මාගේ මාධ්‍ය ජීවිතයට දැනට වසර 20ක කාලයක් පමණ වෙනවා.
මා කොළඹ විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය ඩිප්ලෝමාධාරියෙක්. තවදුරටත් මාධ්‍ය පිළිබද අධ්‍යයනය කරනවා. මේ සිද්ධිය පිළිබඳ ප්‍රවෘත්තිය මාගේ අධීක්ෂණය  යටතේ විකාශය වුණා.''

 ඉන්පසුව රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් මහතාගේ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දුන් සාක්ෂිකරු මෙසේ ද පැවසිය.

ප‍්‍රශ්නය-ඔබ අදාළ විඩියෝ පටය නැරඹුවාද?
පිළිතුර -ඔව්..

ප්‍රශ්නය- එක් වරකට වැඩිය නැරඹුවාද?
පිළිතුර-ඔව්. කිහිපවරක් පරීක්ෂා කළා.
සාමාන්‍යයෙන් මා 

දවසකට විඩියෝ පට 30ක් 40ක් පමණ පරික්ෂා කරනවා.ඒවා සාමාන්‍යයෙන් තබා ගන්නේ දින 7ක කාලයක්  පමණයි.
ප්‍රශ්නය- එය ආයතනයේ ප්‍රතිපත්තියක් ද?

පිළිතුර-එය ප්‍රායෝගිකව සිදු කරන ක්‍රියාවලියක්.

ප්‍රශ්නය-ඔබේ ආයතනයේ ලිඛිත ප්‍රතිපත්ති ප්‍රකාශයක් තිබෙනවාද?
පිළිතුර-ජූඩ් 3 වෙබ් කියලා ප්‍රතිපත්ති ප්‍රකාශයක් තිබෙනවා. එය ලිඛිතව තිබෙනවා. සාමාන්‍යයෙන් අදාළ  කාලය තුළ විකාශය කරනු ලබන ප්‍රවෘත්ති සංස්කාරක මණ්ඩලය විසින් නැවත පරීක්ෂා කිරීමක් සිදු කරනවා. අපි කටයුතු කරන්නේ ඒ ප්‍රතිපත්ති රාමුව අනුවයි.

 ප්‍රශ්නය-එය අධිකරණයට ඉදිරිපත් කළ හැකි ද?
 පිළිතුරා-අද මා එය ගෙනත් නැහැ. අවශ්‍ය නම්  අධිකරණයට ඉදිරිපත් කළ හැකියි.

ප්‍රශ්නය-විකාශය වන සෑම ප්‍රවෘත්තියකම වගකීම ප්‍රවෘත්ති
අධ්‍යක්ෂවරයා සතුයි නේද?

පිළිතුර- ඔව්, විකාශය වන සෑම ප්‍රවෘත්තියකම වගකිව ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා සතුයි.

ප්‍රශ්නය-යම් ප්‍රවෘත්තියක අපහාසාත්මක කොටසක් තිබුණහොත් එය ඉවත් කිරීම ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයාගේ වගකීමක් නේද?

පිළිතුර-ඔව්, ප්‍රවෘත්තිවල අපහාසයක් තිබුණහොත් එය ඉවත් කරනවා. මා නීති විශාරදයෙක් නොවෙයි. අවශ්‍ය නම් නීති උපදෙස් ලබා ගන්නවා. විශේෂයෙන් අධිකරණය සම්බන්ධ ප්‍රවෘත්තිවල දී මේ පිළිඛඳ වැඩි සැලකිල්ලක් දක්වනවා. මේ පිළිබඳ අප පූර්වාදර්ශයක් හැටියට සලකන්නේ එස්.බී. දිසානායක නඩුවයි.

ප‍්‍රශ්නය-මේ ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් කටයුතු කළේ කෙසේද?
පිළිතුර-රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා මෙම ප්‍රකාශය සිදු කළේ සියලුම මාධ්‍ය ආයතනවල නියෝජිතයන් කැඳවලයි. මෙම ප්‍රවෘත්තිය ජනතාව දැන ගත යුතුයි කියා අපි හිතුවා. රාමනායක මහතා මෙම ප්‍රකාශය කළේ ජනතාවට දැනගන්නයි. ජනතාවට එය දැනගන්නට සැලසීම මාධ්‍යයේ වගකීමයි.

 ප්‍රශ්නය-මෙය විකාශය කළේ කවදාද? පිළිතුර 2017 වසරේ අගෝස්තු 21 වැනිදා.

 ප්‍රශ්නය-පුද්ගලයන් දෙදෙනෙකු රන්ජන් රාමනායක මහතාට නඩු දැම්මා කියලා දැන ගත්තේ කවදාද?

 පිළිතුරු-අධිකරණයෙන් සංයුක්ත තැටි ඉල්ලු අවස්ථාව සහ සාක්කි දීම සඳහා සිතාසි නිකුත් කළ අවස්ථාවේදීයි.

 ප්‍රශ්නය-ඊට ප්‍රථම මේ ගැන දැනගත්තේ නැද්ද?
පිළිතුර-නැහැ

ප‍්‍රශ්නය-මෙම නඩුව ගොනු කළ හැටියේම මාධ්‍ය මගින් විශාල ප්‍රචාරයක් සිදු කළා නේද? එවිට දැන ගත්තේ නැද්ද?
පිළිතුර-නැහැ. සාමාන්‍යයෙන් අප ආයතනයෙන් වාර්තාකරුවෙකු ශ්‍රේෂ්ඨාධිකරණයේ සිදුවන දේවල් වාර්තා  කිරිම සඳහා අනුයුක්ත කර තිබෙනවා. විශේෂ අවස්ථාවල දී රන්ජන් රාමනායක මහතා අධිකරණයට පැමිණෙනවා මා දැක තිබෙනවා.

 ප‍්‍රශ්නය-සාමාන්‍යයෙන් වීඩියෝ පටයක් විකාශය  කරන්නේ සංස්කරණය කිරීමෙන් පසුවද?  පිළිතුර ඔව්, ප්‍රවෘත්තියේ මූලික අර්ථයට හානියක් නොවන පරිදියි එය සිදු කරනු ලබන්නේ .


 ප්‍රශ්නය-රන්ජන් රාමනායක මහතා විනිසුරුවරුන්ට ප්‍රශංසා කළ කරුණුත් මෙම වීඩියෝ පටයේ තිබුණා. ඒවා ඉවත් කළා නේද?

පිළිතුර-මෙම වීඩියෝ පටය සංස්කරණය කර බොහෝ කාලයක් වෙනවා. මේ පිළිබඳ මගේ මතකයක් නැහැ. මෙය වාර්තා කළේ ධනංජය නාරම්බැද්ද නමැත්තායි.

 ප්‍රශ්නය- සංස්කරණයේ දී කපා දැමු කොටස් යළි මතු කිරීමේ තාක්ෂණය මගින් ලබා ගත හැකි නේද?

පිළිතුර-ඔව්.හැබැයි දැනට අප ආයතනයේ සර්වර් අලුත්වැඩියා කරන බැවින් එය කිරීමේ හැකියාවක් ඇතැයි මා සිතන්නේ නැහැ.

පෙත්සම්කාර සුනිල් පෙරේරා මහතා සිය පෙත්සම්වලින්  පෙන්වා දී ඇත්තේ පසුගිය වසරේ අගෝස්තු මස අග්‍රාමාත්‍යවරයා සමග පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව පිටතට පැමිණි රන්ජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා  මාධ්‍යවලට අදහස් දක්වමින් මෙරට විනිශ්චකාරවරුන් සහ  නීතිඥවරුන්ගෙන් බහුතරය දූෂිත පුද්ගලයන් ලෙස හදුන්වා  දී ඇති බවයි.

නඩු විභාගය හෙටට (30) කල් දමා තිබේ.


-රංජන් කටුගම්පොළ සහ තිළිණි ද සිල්වා-