රටේ පවතින ප්‍රධානතම ගැටලුව වනුයේ වැඩ කරන පුද්ගලයාට මේ රටේ තැනක් නොදීම බවත්, අද වනවිට තමාද ඒ තැනට වැටී ඇති බවත් විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන ඇමැති රවි කරුණානායක පවසයි.
වළං බිඳෙන්නේ වළං සෝදන පුද්ගලයා අතින් බව පැවැසූ ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ කොතැනදීත් පහර වදින්නේ වැඩකරන කෙනාටම බවයි.

 එසේම රටට බලපා ඇති තවත් එක් ගැටලුවක් නම් නිර්භීත තීන්දු ගැනීමට ඇමැතිවරුන් මැළි වීම බවද ඔහු කීවේය.


 ඇමැතිවරුන් එනවා. තීන්දුවක් ගන්න යනකොට බයේ වෙව්ළනවා. ඒ වෙව්ලීම නිසා සිදුවන දෙදරීම නිසා තමයි අද රටටම සිදුවී ඇත්තේයි ඔහු පැවසුවේය.

 ලංකා විදුලිබල මණ්ඩලයද 2008 වසරේ සිටම අලාභ ලබමින් සිටින බවත් මේ කාලසීමාව තුළ ඇමැතිවරුන් කිහිපදෙනකුම සිටියද ඔවුන් කළ දේවල් සහ ඔවුන්ට නිර්භීත තීන්දු ගැනීමට නොහැකි වීම මේ අලාභයට හේතුව බවද හෙතෙම පැවැසීය.

කොටුගොඩ ධම්මාවාස මහ නායක හිමියන්ගේ ජන්ම දිනය නිමිත්තෙන් ගල්කිස්ස ශ්‍රී ධර්මපාලාරාමයේදී උන්වහන්සේ බැහැදැකීම සඳහා ගිය අවස්ථාවේදී ඇමැතිවරයා මේ බව පැවැසීය.