https://www.gossiplankanews.com/2019/01/rohitha-wedding-political-gossip.html
යේ (24දා) දිනද මැදමුලනට සුවිශේෂී දිනයකි. වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂගේ තෙවැනි පුත්‍රයා වන රෝහිත රාජපක්ෂගේ විවාහ මංගල උත්සවය මැදමුලන වලව්වට ආසන්නව පිහිටි වීරකැටිය මැදමුලන කාල්ටන් වත්තේ සිදුකිරීමයි. රෝහිත රාජපක්ෂ විවාහ වූයේ ටටියානා ජයරත්න සමඟයි. ටටියානා ගුරුවරියක ලෙසද
කටයුතු කර තිබේ.
මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාට මෙම විවාහ මංගල උත්සවයට ආරාධනා කර තිබුණද දින 5ක නිල සංචාරයක් සඳහා 23 වැනිදා සිංගප්පූරුව බලා පිටත්ව ගිය නිසා ජනාධිපතිවරයාට මෙම අවස්ථාවට සහභාගි වීමට නොහැකි විය. නමුත් 23දා සිංගප්පූරුව බලා පිටත්ව යෑමට පෙර විවාහ වීමට සූදානමින් සිටි යුවළ හමුවී සුබ පැතීමට මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා අමතක නොකළේය. 23 වැනි දින විජේරාම මාවතේ පිහිටි නිවෙසට පැමිණි ජනාධිපතිතුමා නව යුවළට සුබ පතා මහින්ද රාජපක්ෂ විපක්ෂ නායක සමඟ කතාබහක නිරත විය.


අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, කථානායක කරු ජයසූරිය, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, ආණ්ඩු පක්ෂයේ ජනතා නියෝජිතයෝ, විපක්ෂයේ ජනතා නියෝජිතයෝ ඇතුළු දේශපාලනඥයෝ ඇතුළු විශාල පිරිසක් මැදමුලනේ පැවැත්වුණු මංගල උත්සවයට සහභාගි වූහ. මේ නිසා මැදමුලන කාල්ටන් වත්ත තුළ ඊයේ දිස්වූයේ පාර්ලිමේන්තුවක ස්වභාවයයි.

මෙම විවාහ මංගල උත්සවය මෙන්ම කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිත අබේගුණවර්ධනගේ දියණියගේ විවාහයද ඊයේ යෙදීම හේතුවෙන් ඊයේ (24දා) දින පාර්ලිමේන්තුව පාළුවට ගොස් තිබිණි. ආනන්ද කුමාරසිරි නියෝජ්‍ය කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24දා) දින පෙ.ව. 10.30ට පාර්ලිමේන්තුව රැස් වුණත් පාර්ලිමේන්තුව රැස්වන අවස්ථාවේදී ආණ්ඩු පක්ෂයේ සිටියේ ජනතා නියෝජිතයන් 15 දෙනකු පමණි. ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් දෙමළ ජාතික සන්ධානයේ කීපදෙනෙකු හා වත්මන් රජයේ කීප දෙනෙකු පමණක් විය.

විපක්ෂයේ ඉදිරිපෙළ අසුනේද සිටියේ එක් ජනතා නියෝජිතයකු පමණි. ඒ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායකයි. රාජපක්ෂ පරපුරේ උරුමය වන මැදමුලන වලව්ව ආසන්නයේ වීරකැටිය කාල්ටන් වත්තේ මෙම මංගල උත්සවය පැවැත්විණි. එම වත්තේ පිහිටි පොකුණක් මධ්‍යයේ පෝරුව සකස් කර තිබුණු අතර මංගල උත්සවයේ සැරසිලි සකස් කර තිබුණේද ස්වාභාවික පරිසරයට ප්‍රමුඛත්වයක් ලබාදෙමින් පරිසරයේ සුන්දරත්වය ඉස්මතු වන ආකාරයෙන් වීම විශේෂත්වයකි.

විවාහ මංගල උත්සවයේ සාක්ෂියට අස්සන් කළේ දෙපාර්ශ්වයේම පියවරුන් වීම විශේෂත්වයකි. මනාලයාගේ පාර්ශ්වය වෙනුවෙන් අස්සන් තැබුවේ විධායක ජනාධිපති වූ සහ වර්තමාන විපක්ෂ නායක මහින්ද රාජපක්ෂයි. මනාලියගේ පාර්ශ්වය වෙනුවෙන් අස්සන් තැබුවේ දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයකු මෙන්ම ක්‍රිකට් පරිපාලනයට සම්බන්ධ නිලධාරියකු වූ ජෙරොම් ජයරත්නයි.

ජෙරොම් ජයරත්න 1983 වර්ෂයේදී ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායමේ නායකයා වශයෙන්ද කටයුතු කළේය. නව යුවළට සුබ පැතීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පැමිණ සිටියේය. නව යුවළට සුබ පැතීමෙන් අනතුරුව මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකවරයා සමඟ සුහද කතාබහකද අග්‍රාමාත්‍යවරයා නිරත විය. පාර්ලිමේන්තුවේ කථානායක කරු ජයසූරියද නව යුවළට සුබ පැතීමට පැමිණ සිටියේය.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර, අමාත්‍ය රවි කරුණානායක,

අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර, අමාත්‍ය ගයන්ත කරුණාතිලක, අමාත්‍ය කබීර් හෂීම්, අමාත්‍ය වජිර අබේවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රි පාලිත රංගේ බණ්ඩාර ඇතුළු පිරිසක් ආණ්ඩුව නියෝජනය කරමින් සහභාගිවීම විශේෂත්වයකි.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහින්ද අමරවීර, නිමල් සිරිපාල ද සිල්වා, දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර, ආරුමුගම් තොණ්ඩමන්, ඩග්ලස් දේවානන්දා ඇතුළු වත්මන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකයන් ඇතුළු මුළු එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායමම මෙම මංගල උත්සවයට එක්ව සිටියහ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම් දුමින්ද දිසානායකද මංගල උත්සවයට පැමිණ සිටි අතර ඔහුගේ පැමිණීම බොහෝ දෙනකුගේ අවදානයට ලක්විය. මෙරට අංක එක ව්‍යාපාරිකයා වශයෙන් සැලකෙන ධම්මික පෙරේරා සමඟ කුමාර් පෙරේරා, රවි විජේරත්න ඇතුළු ප්‍රබල පෙළේ ව්‍යාපාරිකයෝ රැසක්ද මෙම මංගල උත්සවයට එක්ව සිටියහ.

හමුදා ප්‍රධානීන් හා පොලිස්පතිවරයා සමඟ හිටපු හමුදා ප්‍රධානීන් මෙන්ම ක්‍රියාන්විතයේ ඉදිරියෙන්ම සිටි හමුදා ප්‍රධානීන්ද මෙම අවස්ථාවට පැමිණ සිටිනු දක්නට ලැබිණි. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගේ සොහොයුරු ප්‍රකට ව්‍යාපාරිකයකු වූ ඩඩ්ලි සිරිසේනද නව යුවළට සුබ පැතීමට පැමිණ සිටියේය. මීට අමතරව විවිධ ක්ෂේත්‍රවල විද්වතුන් ඇතුළු අති විශාල පිරිසක් මෙම මංගල උත්සවයට එක්ව සිටියහ. මංගල උත්සවයේ දිවා ආහාරය නිර්මාංශිකව පිළියෙල කර තිබීම තවත් විශේෂත්වයකි.

මංගල උත්සව සභාවේ පිළිගැනීමේ කතාව සිදුකළේ හිටපු කථානායකවරයකු වන චමල් රාජපක්ෂ විසිනි. මංගල උත්සවයට අති විශාල පිරිසක් සහභාගි වී සිටියද නව යුවළ සමඟ සෑම මේසයකටම ගොස් ආරාධිතයන්ට කතා කිරීමට මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකවරයා අමතක නොකළේය.

හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා, ජනාධිපති හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත්, විපක්ෂ නායක සම්බන්ධීකරණ ලේකම් කුමාරසිරි හෙට්ටිගේ, ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, විලී ගමගේ, ඩබ්ලිව්.ඩී. ගනේගල කතාබස් කරමින් සිටි මේසය අසලට නව යුවළ සමඟ මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකවරයා පැමිණියේය.

"ඔබතුමා උසාවි ගිය නිවුස් එක මං ඊයෙ රෑ බැලුවා. ඡන්දයක් ඉල්ලපු නිසයි ඔබතුමාට උසාවි යන්න සිදුවුණේ. මේක පුදුම දෙයක්" යනුවෙන් මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේය.

"මං අධිකරණයට අපහාස කරලා නැහැ. මටයි අපහාස කරලා තියෙන්නෙ" යනුවෙන් හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා ඊට ප්‍රතිචාර දක්වමින් ප්‍රකාශ කළේය.

-ඩබ්ලිව්. කේ. ප්‍රසාද් මංජු-

රෝහිත රාජපක්ෂ මංගල්‍යයට ආ දේශපාලකයින්
https://gallery.gossiplankanews.com/wedding/rohitha-rajapaksa-wedding-collection-2.html