පාසල්වල වියදම සඳහා සිසුන්ගෙන් මුදල් එකතු කිරිමේ විධි විධාන ඇතුළත් "පාසල් පාදක ගුණාත්මක, ප්‍රමාණාත්මක හා ව්‍යුහාත්මක සංවර්ධනය සඳහා සැලසුමකරණය හා  ප්‍රතිසම්පාදනය පිළිබඳ 26/2018

චක්‍රලේඛය වහාම ක්‍රියාත්මක  වන පරිදි අවලංගු කිරිමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. මෙම චක්‍රලේඛයට මුවා වී ඇතැම් පාසල් සිසුන්ගෙන්  මුදල් එක්රැස් කිරීමේදී අවිධිමත් ලෙස කටයුතු කරන බව අනාවරණය වීම නිසා මෙම පියවර ගත් බවද අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.

විදුහල්පතිවරුන්ට හෝ පාසල් සංවර්ධන සමිතිවලට හිතුමනාපයේ මුදල් එක්රැස් කිරීමට අවකාශ සලසමින් කටයුතු කිරීමට ඉඩ නොතැබිය යුතු බවද  අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.  එම චක්‍රලේඛයට අනුව පාසලේ වියදම් කටයුතු  වෙනුවෙන් සිසුන්ගෙන් මුදල් අයකළ හැකි අතර විවිධ ව්‍යාපෘති ක්‍රියාවට නගමින්  ආදායම් උපදවාගත හැකිය.

26/2018 චක්‍රලේඛය ඉකුත් ජනවාරි මස 01 වැනි දින සිට  බලාත්මක කර තිබිණ. මේ අතර එම චක්‍රලේඛය අවලංගු කර ඒ වෙනුවට මිට පෙර ක්‍රියාත්මක කළ 5/2015 චක්‍රලේඛයට බලාත්මක කරන බවද අධ්‍යාපන අමාත්‍යාංශය කියයි. 5/2015 චක්‍රලේඛයට අනුව මුදල් රැස්කිරීමට පාසල්වලට අවසරය ලබාදී තිබේ.

-රංජන් කස්තුරි-