https://www.gossiplankanews.com/2019/01/sri-lankan-postie-sent-home-after-stealing-thousands-in-mail.html#more
ස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ පසුගියදා විභාගවූ නඩුවකින් වරදකරුවෙකුවූ ශ්‍රී ලාංකිකයෙකු විශාල දඩ මුදලකට යටත්ව රටින් පිටුවහල් කිරීමේ දඩුවමකටද ලක්වූ බව වාර්තාවේ. ඔහු වසර 4 ක් තිස්සේ ඕස්ට්‍රේලියානු තැපැල් බෙදාහැරීමේ රැකියාවක් කරමින් සිටියදී
තැපෑලෙන් බෙදාහරින්නට එක් එක් අය එවන ලද වටිනා භාණ්ඩ එසේ බෙදා නොහැර වංචනික ලෙස සොරකම් කර හසුවීම නිසා මෙම දඩුවමට ලක්ව ඇත. ඔහු සේවය කළ Toowoomba  තැපැල් බෙදාහැරීම් මධ්‍යස්ථානයේ කාලයක් තිස්සේ පාර්සල් අතුරුදන්වන බවට මහජන පැමිණිලි ලැබී තිබුණ අතර

මේ ගැන අභ්‍යන්තරිකව සිදු කළ රහස් විමර්ශනයකදී ශ්‍රී ලාංකිකයාගේ සොරකම හෙලිදරව්වී ඇත.

එරට ඊබේ හා ඇමේසන් නියෝජිතායතන වෙත තැපෑල ඔස්සේ ඇණවුම් කරන පාර්සල් බොහෝ අවස්තාවල ලැබී නොතිබීම ගැන මහජන පැමිණිලි ලැබී තිබේ. මෙම පාර්සල් නැතිවීමේ පැමිණිලි සියල්ලම පාහේ ඔහුට බෙදාහරින්නට රාජකාරිය නියමවූ ස්ථානවලින් වාර්තාවීම නිසා පසුව සිදු කරන ලද විමර්ශනයේදී සොරකම අනාවරණයවී තිබේ.

 පසුගිය 2018 නත්තල වෙනුවෙන් බොහෝ අය යවන ලද නත්තල් තෑගි නොලැබීම මත පරීක්ෂණ සිදුවිය. එහිදී අනාවරණය වූයේ ඇතැම් ඉලෙක්ට්‍රොනික උපකරණ හා ජංගම දුරකථන ඔහුගේ වාහනයේ හා නිවසේ තිබී සොයාගත් බවයි.

මෙම පරීක්ෂණවලින් පසු ඔහුට එරෙහිව එරට අධිකරණයේ නඩු පවරන ලද අතර එහිදී අනාවරණයවූයේ මෙම ශ්‍රී ලාංකිකයා ප්‍රදීපන් ලෝගනාදන් 29 හැවිරිදි ද්‍රවිඩ ජාතිකයෙකු බවයි.2012 වර්ෂයේ දී බෝට්ටුවෙන් ඔහු ඕස්ට්‍රේලියාවට ගොස් ඇති බවත් සරණාගත වීසා මත එරට පදිංචිව සිටින අයෙකු බවත් නඩු විභාගයේදී අනාවරණය විය.

ඔහු සොරකම් කරන ලද භාණ්ඩවල මුළු වටිනාකම ඕස්ට්‍රෙලියානු ඩොලර් 5187 (ශ්‍රි ලංකා රුපියල් 670000 ක් පමණ) වන බව අධිකරණයට තක්සේරු කර තිබුණි. සාක්ෂි සහිතව වරද හෙළීවීමෙන් පසු එම භාණ්ඩවල මුළු අගය ගෙවා දමන ලෙස ඔහුට අධිකරණය නියම කළ අතර ඊට අමතරව ඕස්ට්‍රෙලියානු ඩොලර් 500 ක දඩයක්ද ඔහුගේ වීසා අවලංගු කිරීමේ දඩුවමද පනවන ලදි. ඒ අනුව ඔහුට එරටින් පිටවන ලෙස දැනුම්දී ඇති අතර ශ්‍රී ලංකාවට පිටුවහල් කර තිබේ.‍
ඔහු වෙනුවෙන් පෙනී සිටි ඕස්ට්‍රෙලියානු නීතීඥවරිය අධිකරණයේදී ඔහුගේ පිටුවහල් කිරීම බේරාගැනීමට උත්සාහ කළත් එය ව්‍යර්ථ විය.

මෙම සිද්ධිය ඕස්ට්‍රේලියානු මාධ්‍ය තළ මෙන්ම අන්තර්ජාතික පුවත් වෙබ් අඩවි තුළද මේ වනවිට පළ කර තිබෙන අතර ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට අත්කරදී ඇත්තේ අපකීර්තියකි.