ව්‍යාපාරිකයකුට කළුතරදී වෙඩි තැබීමේ සිද්ධිට රිමාන්ඩ් භාරයේ පසුවන පාතාල සාමාජිකයකුට අයත් රිවෝල්වරයක් හා ජීව උඩ පහක් ඔහුගේ අනියම් පෙම්වතිය පදිංචි කළුතර පලාතොට නිවෙසේ සඟවා තිබියදී
පෙරේදා (26දා) රාත්‍රි සොයාගත් බව පානදුර කොට්ඨාස නීතිය බල ගැන්වීමේ ඒකකය කියයි.  එම නිවසේ තිබී ගංජා ජාවාරම සම්බන්ධයෙන් සටහන් යෙදූ පොත් දෙකක්, එම ජාවාරම පිළිබඳ නිශ්චිත දෙනකු සමඟ කළ සාකච්ඡා පටිගත වූ ජංගම දුරකථනයක්ද සොයාගෙන ඇත.

මේ හා තවත් ජංගම දුරකථන පහක්, බැංකු ගිණුම් පොතක් මෙන්ම ගංජා ජාවාරමෙන් උපයා ගත් බවට සැකකරන රුපියල් 70,000ක මුදලක්

යතුරුපැදියක් හා කඩුවක්ද පොලීසිය භාරයට ගෙන තිබේ. කළුතර ව්‍යාපාරිකයාට වෙඩි තැබීමට යොදා ගත් මෝටර් රථය යොදාගෙන බන්ධනාගාරයේ සිටින පාතාල සාමාජිකයාගේ අනියම් බිරිය තවත් පුද්ගලයන් දෙදෙනකු සමඟ  එක්ව ගංජා ජාවාරමේ යෙදෙන බවට ලද තොරතුරක් අනුව ඉකුත් 22දා එම කාන්තාව ඇතුළු පුද්ගලයන් දෙදෙනා රුපියල් ලක්ෂ 15ක් පමණ වන කේරළ ගංජා සමඟ ගල්තුඹේ පාලම අසලදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබුණේ පානදුර කොට්ඨාස නීතිය බලගැන්වීමේ ඒකකයෙනි.

සැකකරුවන් දෙදෙනා හා සැකකාරි බණ්ඩාරගම සංචාරක මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර දින 7ක කාලයකට රැඳවුම් නියෝග ලබාගෙන කළ ප්‍රශ්න කිරීමේදී හෙළි වූ තොරතුරු අනුව පාතාල සාමාජිකයාට අයත් ගිනි අවිය හා ජීව උණ්ඩ ඇතුළු අනෙකුත් දෑ සොයාගත් බව පොලිස් නිලධාරියෙක් පැවැසීය. පාතාල සාමාජිකයා පොලිස් අත්අඩංගුවට පත්වීමත් සමඟ ඔහුගේ ගංජා ජාවාරමේ සියලු කටයුතු අනියම් බිරියට පවරා තිබේ. එම කාන්තාව පදිංචි වී සිටින නිවසේ තිබී සොයාගත් ගංජා ජචාරම පිළිබඳ සටහන් ඇතුළත් පොත්වලින්
එ සනාථ වූ බව පොලිසිය කියයි.

මහ පරිමාණයෙන් කළ ගංජා ජචාරමේ තොරතුරු රැසක් මෙම පොත්වල තිබු සටහන්වලින් අනාවරණය වන බවත් තවත් සැකකරුවන් කිහිපදෙනකු හඳුනාගත් බවත් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවැසීය. එම සැකකරුවන්ද අත්අඩංගුවට ගැනීමට විමර්ශනය කරන බව පොලිසිය කියයි.  දැනට අත්අඩංගුවේ පසුවන දෙවැනි සැකකරු මෙම මස 15දා පයාගල පොලිස් වසමේදී පුද්ගලයකුට කඩුවකින් පහරදී තුවාල කිරීමේ සිද්ධියකට අවශ්‍යව සිටි අයෙකි. එම සැකකරුවන්ගේ ප්‍රකාශ මත එම අපරාධය සඳහා යොදා ගත් කඩුව හා යතුරුපැදියද පොලිසිය මඟින් සොයාගෙන ඇත.

අත්අඩංගුවේ පසුවන සැකකාරියට අමතරව සිටින පුද්ගලයන් දෙදෙනා රිමාන්ඩ් භාරයේ සිටින පාතාල සාමාජිකයාගේ මත්ද්‍රව්‍ය ජාවාරමට සෘජුවම සම්බන්ධ කටයුතු කළ දෙදෙනකු යැයි පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් සැකකාරිය වයස අවුරුදු 22ක් වන මොරටුව පදිංචිකාරියකි. අනෙක් පුද්ගලයන් දෙදනා කළුතර කලමුල්ල පදිංචි වයස අවුරුදු 22 හා අලුබෝමුල්ල පදිංචි වයස අවුරුදු 20ක අයෙකි. අත්අඩංගුවට ගත් සැකකරුවන් හා සැකකාරිය පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.


-එම්.සී.පෙරේරා-