වේයන්ගොඩ මගලෙගොඩ ප්‍රදේශයේ උත්සව ශාලාවක ඉකුත්දා රාත්‍රි පැවැති මංගල උත්සවයක දෙවැනි දින
ඡායාරූප ගත කිරීමට පැමිණි ඡායාරූප ශිල්පියකුගේ කැමරා උපකරණ එම උත්සවයට ආරාධනා පිට පැමිණි පුද්ගලයකු විසින්ම සොරාගැනීමේ පුවතක් වේයන්ගොඩ පොලිසියෙන් වාර්තා වේ.

කැමරා උපකරණ මේසයක් මත තබා ඡායාරූප ශිල්පියා ඔහුගේ සහායකයන් සමඟ රාත්‍රි ආහාර ලබාගැනීම
පිණිස පිටත්ව ගිය අනතුරුව කල්යල් බලා සැකකාර පුද්ගලයා එම භාණ්ඩ සොරාගෙන ඇත. උත්සව ශාලාවේ හිමිකාර කාන්තාව සහ ඇගේ දියණියන් දෙදෙනා ඒ මොහොත වනවිට උත්සව ශාලාව අසලම පිහිටි සිය නිවෙසේ සිට සජීවී සීසීටීවී දර්ශන නරඹමින් සිටි අතර එහිදී අදාළ සොරකම පිළිබඳව වැටහී ඇය ක්ෂණිකව උත්සව ශාලාව වෙත පැමිණ සිද්ධිය පවසා ඇත.

ඒ වනවිට සැකකරු කැමරා උපකරණ ශාලාවෙන් පිටතට රැගෙන ගොස් තිබුණද උත්සව භූමියෙන් පිටතට ගෙන යෑමට නොහැකිවීම නිසා එළිමහනේ තිබෙන මල් පෝච්චියක් අසල සඟවා තබා උත්සවයට පැමිණි වෙනත් අයකුගේ වෑන් රථයක නැඟී උත්සව භූමියෙන් පිටව ගොස් ඇත. කැමරා උපකරණ කිසිදු හානියකින් තොරව සොයාගැනිණි.

සීසීටීවී දර්ශන පරීක්ෂා කිරීමෙන් අනතුරුව මනාලයා විසින් සැකකරු හඳුනාගෙන ඇති බවත් ඔහු මනාලයාගේ පර්ශ්වය නියෝජනය මංගල උත්සවයට සහභාගි වූ අයකු බවත් පොලිසිය පවසයි. සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා වේයන්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුජීව සිල්වා මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ පොලිස් නිලධාරීහු පරීක්ෂණ පවත්වති.

-වේයන්ගොඩ  ඉන්දික තුෂාර-