පෑන්ඒෂියා බැංකුවෙන් ලබාගත් රුපියල් එක්කෝටි විසි ලක්ෂයක මුදල් නොගෙවුවොත් හිටපු මුදල් ඇමැති පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතාගේ නුගේගොඩ ජම්බුගස්මුල්ල මාවතේ පිහිටි දේපොළ ප්‍රසිද්ධ
වෙන්දේසියේ විකුණා මුදල් අයකැර ගන්නා ලෙස ඊයේ (26) කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු අශාන් මරික්කාර් මහතා නියම කළේය. තමා අත්සන් කරනුයේ උකස්කරයකට බව නොදැන යම් ලේඛනයකට අත්සන් කළ බවට බන්දුල ගුණවර්ධන මහතා පැවසුවද ප්‍රසිද්ධ උපකාරක පන්ති ගුරුවරයකු වූ
බන්දුල ගුණවර්ධන මහතා වැන්නකු තමා නොදැන යම් ලේඛනයකට අත්සන් කළේ යැයි පවසන කරුණු පිළිගත නොහැකි බව තීන්දු කරමින් විනිසුරුවරයා එම නියෝගය නිකුත් කෙළේය.

මුදල් හා ඊට අදාළ පොලි මුදල් උපයා ගැනීම සදහා පෑන්එෂියා  බෑන්කින් කෝපරේෂන් ආයතනය විසින් මහරගම නාවින්න හයිලෙවල් පාරේ අල්ෆා ඩිජිටල් පුද්ගලික සමාගම හා නුගේගොඩ ගංගොඩවිල ජම්බුගස්මුල්ල මාවතේ අංක 28 දරන ස්ථානයේ පදිංචි බන්දුල ගුණවර්ධන මහතාට එරෙහිව මෙම නඩුව පවරා තිබුණි. දෙවැනි විත්තිකාර බන්දුල ගුණවර්ධන මහතා අල්ෆා ඩිජිටල් පුද්ගලික සමාගම වෙනුවෙන් රුපියල් එක්කෝටි විසි ලක්ෂයක බැංකු අයිරා හා ණය මුදලබා ගැනීමේ දී නුගේගොඩ ගංගොඩවිල ජම්බුගස්මුල්ල මාවතේ අංක 28 දරන ස්ථානය ඇපයක් වශයෙන් ඉදිරිපත් කොට තිබූ බවට පැමිණිලිකාර බැංකුව අධිකරණයට දැනුම් දී තිබුණි.

බැංකුව වෙනුවෙන් එකී බැංකු නිලධාරින්, නීති නිලධාරීන් ඇතුළු පිරිසක් සාක්කි දුන්හ. තමා අත්සන් කරනුයේ උකස්කරයකට බව හොදින්ම දැන බන්දුල ගුණවර්ධන මහතා අදාළ ලේඛනවලට අත්සන් කර ඇති බව පැහැදිලිව පෙනී යන බවට සිය තීන්දුවෙන් සඳහන් කළ විනිසුරුවරයා පෑමියා බැකුවෙන් ලබාගත් රුපියල් එක්කෝටි විසි ලක්ෂයක බැංකු අයිරා හා ණය මුදල් නොගෙවුවහොත් ඒ වෙනුවෙන් ඇපයට තබා ඇති හිටපු මුදල් ඇමැති පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතාට අයත් නුගේගොඩ ජම්බුගස්මුල්ල මාවත්තේ පිහිටි ඔහුට අයත් අංක 28 දරන දේපොළ ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණා එම මුදල් අයකර ගැනීමට නියම කළේය.

-කුමුදු හෙට්ටිආරච්චි-