කොකේන්, හෙරොයින් වැනි ඉහළ පෙළේ ඕනෑම මත්ද්‍රව්‍ය වැටලීමක් සාර්ථකව කළ හැකි විශේෂ පුහුණුව ලත් සුනඛයන් 70 දෙනෙකු පොලිස් නිල සුනඛ කොට්ඨාසය විසින් මේ වන විට සූදානම් කර තිබේ. එම
කොට්ඨාසය සතුව මේ වන විට
පුහුණුව ලත් සුනඛයන් 222 දෙනෙකු සිටින අතර ඉන් 70 දෙනෙකුට  මෙලෙස මත්ද්‍රව්‍ය වැටලීම සඳහා විශේෂ පුහුණුව ලබා දී තිබේ. මෙම සුනඛයන් අතුරින් 60 දෙනෙකු විදේශයෙන් ගෙන්වා මෙරටදී විශේෂ පුහුණුවක් ලබා දුන් සුනඛයන් වන අතර ඔවුන්ට ලොව පවතින අති නවීන ආකාරයේ පුහුණුවක් ලබා දීමට පොලිස් නිල සුනඛ කොට්ඨාසය කටයුතු කර ඇති බව එහි අධ්‍යක්ෂ පොලිස් අධිකාරී ලාල් සෙනෙවිරත්න මහතා පැවසීය.

ලැබ්‍රඩෝ, ගෝල්ඩන් රිට් රිව, ඉංග්ලස් ස්පැනියල්, කොකස් ස්පැනියල් යන ඉහළ පෙළේ සුනඛයන් මේ සඳහා යොදාගෙන ඇති අතර මේ යටතේ මුහුදු මාර්ගයෙන් හා ගුවනින් මෙරටට ගෙන එන බොහෝ මත්ද්‍රව්‍ය වැටලිය හැකි සුනඛයෝද වෙති. මොවුන්ගෙන් 20 දෙනෙකු මෑතකදී සාර්ථක පුහුණුව අවසන් කළ සුනඛයන් වීම සුවිශේෂී වේ. කොළඹ වරාය, කටුනායක ගුවන් තොටුපොළ සඳහා වෙනම නිල සුනඛ ඒකක ස්ථාපිත කර ඇති බවත් එම ඒකක මගින් එහි වැටලීම සාර්ථකව කළ හැකි බවත් ලාල් සෙනවිරත්න මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි. මීට  අමතරව ගාල්ල, හම්බන්තොට වරායන් මෙන්ම මත්තල ගුවන්තොටුපොළ සදහා ගාල්ල නිල සුනඛ ඒකකය මගින් වැටලීම් සිදුකර ඇති අතර ඉදිරියේදී නවීන මත්පෙති වර්ග වැටලීම සඳහා වන විශේෂ පුහුණුවක් නිල සුනඛයන්ට ලබා දීමට සැලසුම් කර තිබේ.


-ඉන්දික පොල්කොටුව