ඇය වාසය කළේ
කඹුරුපිටිය මාවරල පොලිස් වසමේ මාකඳුරේ වටේවෙල, මහගෙදරවත්තේය. ගයානි මුතුමාලි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට සිය ජීවිත කතාව සැකෙවින් පවසා සිටියාය. ඇය කී කතාව මෙසේය.
“අපි දෙන්නම ගියේ එකම පාසලට. එකම පන්තියෙ හිටියේ. නාරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයට ගියේ. මම මාකඳුරේ වටේවෙල. මධුෂ් කඹුරුපිටියේ ගතාරේ.පාසල් සමයේදීම අපි අතරේ පෙම් පළහිලව්වක් තිබුනා. මදුෂ් ඒ දවස්වලත් කඩවසම් තරුණෙයෙක්. එයාට විශේෂ කාන්තා ආකර්ෂණයක් තිබුණා. අපි හම්බවෙන මුල් කාලෙ ඉඳන්ම මධුෂ්ලයි පවුලට ගොඩක් කරදර ආවා. 1988 - 89 කාලේ දකුණෙ ඉතාම ම්ලේච්ඡ භීෂණයක් තිබ්බෙ. මධුෂ්ගෙ අම්මා 1989 දි මරනවා. ඒත් එක්කම මල්ලිත් මාතර වේල්ල කියන හරියෙ මරලා දාලා තිබිලා මිනිය හමුවෙනවා. මේ මරණ දෙකම මධුෂ්ගේ ජීවිතේට බලපෑවා. එයා ඒවයින් සෑහෙන්න වැටිලා හිටියේ. එයා සමාජයත් එක්ක වෛරයකින් ගතකළේ.
මේ අතරෙ තාත්තා එයාලව දාලා ගිහින් වෙන විවාහයක් කරගත්තා.
ඉස්කොලෙන් අයින් වුණාට පස්සෙත් අපේ සම්බන්ධය තිබ්බා. ඒත් මගෙ අම්මලා තාත්තාලා මේ සම්බන්ධෙට පොඩ්ඩක්වත් කැමති උනේ නෑ. හේතුව මේ ඇතිවෙලා තිබුණ තත්වයත් එක්ක මධුෂ් දාමරිකකම් වලට පෙළඹිලා හිටපු එක.
ඕ ලෙවල්වලින් ඉස්කෝලෙ අත්හැරල ගියපු එයා පස්සෙ පුංචි පුංචි වැඩ කරන්න පටන් ගත්තා. වැඩ හොයාගෙන අම්පාරෙ ගියා. අම්පාරෙ ගරාජ් එකක වැඩ කළා. ඒ අතරෙ එක එක දේශපාලකයො එයාව ඔවුන්ගේ මැර වැඩවලටත් යොදා ගත්තා.“
ගයානිගේ මවුපියන් මාකඳුරේ වටේවෙල යමක්කමක් තිබූ වැදගත් පවුල් පසුබිමක් සහිත පුද්ගලයයෝය. එහෙත් සියල්ලට වඩා ඔවුන්ගේ ආදරය ප්‍රබල විය. ඔවුහු ගායානිගේ මවුපිය විරෝධතා නොසලකා රහසින් විවාහ ජීවිතයට එක් වූහ.
ගයානි හා මධුෂ් අතර විවාහය සිදුවන්නේ 1999 වර්ෂයේදී ය. ඒ වන විටත් මධුෂ් මැරකම් සඳහා ප්‍රදේශයේ ප්‍රසිද්ධව සිටි තැනැත්තෙකි. මධුෂ්ගේ නම මුලින්ම පොලිස් අපරාධ පොතේ ලියැවෙන්නේ විවාහය සිදුවූ වර්ෂයේදීම ය. ඒ 1999 ඔක්තොම්බර් 28 ය. තුවක්කුවක් ළඟ තබාගැනීමේ වරදට මාවරල පොලිසියේ ඔහුගේ නම සඳහන් වන්නේය.
“විවාහයෙන් පස්සේ මුලින්ම අපි කඹුරුපිටියේ ගතාරේ මධුෂ්ගේ ගමේ පදිංචිව සිටියා. පස්සෙ මවුපිය විරෝධය මගහැරුණා. අපි අපේ ගම වුණු මාකඳුරේ වටේවෙල මහගෙදර වත්තේත් ජීවත් වුණා. ඒ වකවානුවෙ අපේ ජීවිත ගෙවුණෙ බොහොම සාමයෙන්. සතුටින්. පස්සේ මධුෂ් ත්‍රි රෝද රථයක් හයර් කරන්න පටන් ගත්තා. ඒ රස්සාවෙන් එයා සතුටු නෑ. ඊට පස්සෙ අත්ට්‍රැක්ටරයක් අරන් රැකියාවක් කරන්න ගත්තා.“ ගයානි කිවාය.
මධුෂ් සිය කාලකණ්ණී අපරාධ ජීවිතයට හුරු වෙන්නේ ඒ කාලෙදිය. මේ අතරේ මධුෂ්ට හා ඔහුගේ බිරිය ගයානිට මාතර රෝහලේ සුළු සේවකයන් ලෙස රැකියා ලැබෙයි. එම රැකියා ලබා දෙන්නේ මාකඳුරේ ප්‍රබල දේශපාලනඥයෙක් මාර්ගයෙනි.
“මධුෂ්ට උපස්ථායකයකු ලෙස රැකියාව ලැබුණා. මං කනිෂ්ඨ සේවිකාවක ලෙස රැකියාව භාර ගත්තා. ටික කාලයක් අපි රස්සාව කරගෙන හිටියා.“
හිටිහැටියේම මධුෂ් රැකියාවෙන්ද ඉවත් වන්නේය. පසුව ඔහු දැඩිව බලපෑම් කර සිය බිරිය ගයානිද රැකියාවෙන් ඉවත් කරගන්නේය. ගයානි සිය රැකියාවෙන් ඉවත්ව තිබුණේ මධුෂ් රෝහල් පරිශ්‍රයටද පැමිණ රැකියාවෙන් ඉවත් වන ලෙස ඇයට කළ බලපෑම් නිසාය.
“ඊට පස්සෙ මධුෂ්ගේ ජීවිතේ වෙනස්ම එකක් වුණා. මං මොනතරම් බලපෑම් කළත් මට කරන්න දෙයක් තිබුණෙ නෑ.“
මධුෂ් අපරාධකාරයකු ලෙස කලඑළි බසින්නෙ මාවරලේම විසූ කුසුමදාස නමැත්තා
මහගෙදරවත්ත ගයානිගේ මහගෙදර තිබුණු ප්‍රදේශය විය. ඒ අවට ඉඩකඩම් කර්මාන්තපුරයක් සඳහා පවරා ගැනීමට සැලැස්මක් සකස් වන්නේ මේ අතරය. එම ව්‍යාපෘතිය මෙහෙයවනු ලැබුවේ හිටපු පළාත් අමාත්‍යවරයකු වූ ඩැනි හිත්තැටියගේය. ඔහු මධුෂ්ලාගේ බිරියගේ ඉඩම් අත්පත් කරගැනීමට හැකි සෑම බලපෑමක්ම කළේය. එම අමාත්‍යවරයාගේ මස්සිනා වූ උපනන්ද නමැත්තා මධුෂ්ට මෙන්ම එම පවුලේ අයට නොසෑහෙන ලෙස කරදර කර තිබිණි. මධුෂ් රටේ තීරණාත්මක අපරාධකරුවෙකු කළ ඒ අතීත සිද්ධිය ඔහුගේ බිරිය ගයානි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉදිරියේ ආවර්ජනය කොට තිබුණේ මෙසේය.
“ඩැනී හිත්තැටියගේ අපේ ඥාතින්... මේ ඔක්කොම ගැටුම් ඇති වුණේ ඉඩම් ප්‍රශ්නවලට... අපි ඒ මිනිස්සුන්ට ගොඩාක් සැරයක් කිව්වා අපට අපේ පාඩුවේ ඉන්න දෙන්න කියලා... මේ ඇත්තමයි කියන්නෙ. ඒ කාලෙ මධුෂ් ඒ අයව මඟහැරලමයි හිටියේ... එහෙම ඉන්න ඉන්න ඒ අය අපිට නොසෑහෙන්න කරදර කළා... උපනන්ද මධුෂ්ට ශාරීරිකවත් හිරිහැර කළා.
මේ තාඩන පීඩන මැද්දෙ ජීවිතේ ගෙවිලා ගියා. අපිට 2001 අවුරුද්දෙ දරුවෙක් ලැබුණා. එයා පුතෙක්. එම පුංචි පුතු සමඟින් කල් ගෙවන සමයේ එල්ල වූ කරදර නිසා මධුෂ් මට කතා කළා වෙනත් පැත්තකට ගිහින් ජීවත්වෙමු කියලා. ඒත් මං ගියේ නෑ... අපි අපේ ගමේත් මධුෂ්ගේ ගතාරේ ගෙදරත් සැරින් සැරේ දරුවත් එක්කම ජීවත් වුණා...“
මේ ගැටුම අවසානයේ කෙළවර වන්නේ මධුෂ් අතින් සිදුවන මිනීමැරුම් වැලකිනි. කුසුමදාස නැමැත්තෙක් වර්ෂ 2003 ඔහු විසින් මරාදමන ලද බව කියැවේ. එහෙත් ඊට සාක්ෂි තිබුණේ නැත. අනතුරුව උපනන්දව මරා දමයි. අපරාධ චෝදනා මත රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටියදී සැලසුම් කර ඩැනී හිත්තැටියගේ මරා දමන්නය. මධුෂ් පාතාල ලෝකය තුළ හොල්මන් කරන්නට පටන් ගන්නේ මේ මිනීමැරුම් වැල සමගිනි.
“දරුවත් අරගෙන පහුගිය අගෝස්තු 11 වැනිදා සිංගප්පූරු ගියා. දරුවට දැන් අවුරුදු 18ක්. එයා හිටියෙ ලොකු අසනීප තත්වයක. එදා මම සිංගප්පූරුවට ගියෙ පුතාට බෙහෙත් ගන්න... පස්සෙ මං හඳුනන්නෙ නැති දෙන්නෙක් ආවා සිංගප්පූරුවට... ඇවිල්ලා අපි දෙන්නව ඩුබායි එක්ක ගියා... ඒ ගිය ගමන ඩුබායිවලදි මධුෂ් හම්බ වුණා...“
ගයානි මධුෂ්ව අවසන් වරට මුණගැසී තිබුණේ එසේ ඩුබායි ගිය ගමනේදීය. එදා සිදු වුණු දේද ගයානි පොලීසියට කීවාය.
“මට එදා මධුෂ් කිව්වා දරුවා එයාට අවශ්‍යයි. දරුව එහෙ තියලා යන්න කියලා... මම මොනවා කරන්නද?. කොල්ලව ඩුබායිවල තියලා මට හිස් අතින් එන්න සිද්ධ වුණා... මට කොල්ලා ගැන පුදුම තරම් දුකයි.
මගෙ දරුවා මෙහෙ ඉද්දී මධුෂ් විටෙන් විට ගෙදරට කතා කරලා දරුවාගේ තොරතුරු විමසනවා. එහෙම නැතිව කිසිම විටෙක මධුෂ් මට කතා කරන්නෙ නෑ. ඒත් මම ඔහුගෙ නීත්‍යානුකූල බිරිය විදිහට ඔහුගේ පාර්ශවයේ නෑදෑයන්ට කළ හැකි හැම යුතුකමක්ම ඉෂ්ට කළා. මධුෂ්ගේ තාත්තගේ මළගෙදර සියලුම වැඩ කටයුතුවලට වෙහෙස මහන්සි වුණා. දානමාන ආදියටත් සහභාගි වුණා. හැබැයි මං පසුගිය කාලෙ කිසිම වෙලාවක එයාගෙන් යැපුණේ නෑ. මට තියෙන විදිහට මං මගේ මවුපියන් එක්ක ජීවත් වුණා. “
මහගෙදරවත්ත නමැති ගමේ මධුෂ්ගේ බිරියෙ වෙසෙන නිවස හතර වටේටම උස් තාප්පයකින් වටකොට ඇත. අවට පැය විසිහතර පුරා සීසීටීවී කැමරා පද්ධතියකින් නිරීක්ෂණය වේ. ඒ අවට කිසිදු අයෙක් මධුෂ් ගැන හෝ ඔහුගේ කල්ක්‍රියා ගැන වචනයක් කතා කරන්නේ නැත. ඔහු අත්අඩංගුවට ගැනීමක් සිදුවූවාද යන්නවත් කතා කරන්නේ නැත.
සත්‍ය ලෙසම ඊට හේතු කාරණය ගම්වාසීන් මෙන්ම ඥාති හිතමිත්‍රාදීන්ද මධුෂ්ට දක්වන ආදරය නොව බිය විය යුතුය.
තොරතුරු - අමිල මලවිසූරිය