එක්සත් ජනපදය වෙත එල්ල වන  ධ්‍රැවීය සුළං හේතුවෙන් එහි ප්‍රාන්ත රැසකම උෂ්ණත්වය ඊයේ  (31) දිනය වනවිට සෙල්ශියස් අංශක -30 ඉක්මවීමේ තත්වයක් පැවති බව වාර්තා වෙයි. ඒ අතරින් චිකාගෝ ප්‍රාන්තයේ
උෂ්ණත්වය සෙල්ශියස් අංශක -30ක් වූ අතර, උතුරු ඩකෝටාවේ උෂ්ණත්වය සෙල්ශියස් අංශක -37 ක් විය. එසේම මෙම තත්වයන් අද දිනයේදී තවදුරටත් දරුණු වීමේ ආවදානමක් පැවතුණි.

මේ අනුව පවතින දරුණු ශීත දේශගුණික තත්වය එරට මිලියන  250කට ආසන්න ජනතාවකට බලපෑම් එල්ල කර තිබෙන අතර, තවත් මිලියන  90කට අධික පිරිසකට සෙල්සියස් අංශක සෘණ 17ක හෝ ඊට අඩු මට්ටමක සීතලක් අත්වීදීමේ අවස්ථාව උදාවී ඇති බවද  වාර්තා සඳහන් කර තිබුණි.

 මෙම ශීත කාලගුණික තත්වය ඇන්ටාර්ක්ටිකාවේ පවතින සීතලටත් වඩා අධික වීම එහි විශේෂත්වය වී තිබේ.

එරට මාධ්‍ය පවසන ආකාරයට  ඊයේ දිනය වනවිට මේ අධික සීතල හේතුවෙන් පුද්ගලයෝ අට දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ඒ අනුව මේ  ආපදා තත්වය හමුවේ සියලු දෙනාටම නිවෙස්වලට වී සිටින ලෙසද බලධාරීන් නිවේදනය කර තිබේ. විශේෂයෙන්ම මෙම අධික සීතලට නිරාවරණය වීමෙන් සමෙහි තුවාල ඇති වීමේ අවදානමක්ද පැවැති බව සඳහන් වෙයි.

මෙහිදී තම සුරතලුන්ද හැකි පමණීන් ආරක්ෂා කරගන්නා ලෙස නිවැසියන්ට දැනුම් දී ඇත.