එක්සත් ජාතික පෙරමුණේ මැති ඇමතිවරුන් ජනතා සේවය කිරීමේදීත් අදහස් ප්‍රකාශ කිරීමේදීත් දැඩි වගකීමෙන් යුතුව කටයුතු කළ යුතු යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික  පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අමතා ඊයේ (27) පැවසීය.

 එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පිටකෝට්ට සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථ්‍යනයේදී කෘත්‍යාධිකාරී මණ්ඩලය ඊයේ (27) දහවල් රැස්විණ.

මැති, ඇමැතිවරුන් කොකේන් මන්ද්‍රව්‍ය භාවිත කරන බවට මහාමාර්ග සහ මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රංඡන් රාමනායක මහතා කර තිබු ප්‍රකාශය පිළිබඳව ද කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී අවධානය යොමු කෙරිණි.

ඒ කරුණු මතු වූ අවස්ථාවේදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල්  වික්‍රමසිංහ මහතා
පැවසුවේ අදාළ කරුණ සම්බන්ධව විමර්ශනය කිරීමට පත්කළ ලක්ෂ්මන් කිරිඇල්ල කමිටු වාර්තතාවේ එක්සන් ජාතික පෙරමුණට සම්බන්ධ මැති ඇමැතිවරුන්ගේ නම් නැති නමුත් වෙනත් පක්ෂවල මන්ත්‍රීවරුන්ගේ නම් සඳහන්ව තිබෙන බවයි.

වෙනත් පක්ෂ මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට  තමන්ට අයිතියක් නැති බව කෘත්‍යාධිකාරී මණ්ඩලයට පෙන්වා දුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රසිංහ මහතා අවශ්‍ය නම් පොලිස් (සී.අයි.ඩි.) වාර්තා පදනම් කරගනිමින් රජය ලෙස අදාළ මන්ත්‍රිවරුන් සකබන්ධයෙන් ක්‍රියා කළ හැකි යැයි කියා සිටියේය.

කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී ආවේගාත්මක ලෙස අදහස් පළ කර ඇති අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පවසා ඇත්තේ තමන්ට ලක්ෂ 7ක් වන ෆේස්බුක් ගිණුමක් ඇති බවත් ජනප්‍රිය දේශපාලකයකු ලෙස තමන් කියන කරුණු ගැන අවධානය යොමු කළ යුතු බවය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට අමතරව එජාප ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරු ද එහිදී වගකීමෙන් අදහස් ප්‍රකාශ කිරීමේ වැදගත්කම පිළිබඳව කරුණු දැක්වූහ.

 කෘත්‍යාධිකාරි මණ්ඩලය පැවැත්වද්දී රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා ආවේගාත්මකව අදහස් පළ කරමින් රැස්වීමෙන් පිටව යාමට උත්සාහ කළ බව ද වාර්තා විය

(අංජුල මහික විරරත්න)