විධායක ජනාධිපතික්‍රමය අහෝසි කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා 20 වැනි සංශෝධනය  සමබන්ධයෙන් විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා සමග නිල සාකච්ඡාවක් ලබන සතියේදී පවත්වන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ඊයේ (28) පෑවසීය.


 ජනතා විමුක්ති පෙරමුණ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 20 වැනි සංශෝධනය සම්මත කරගැනීමට අවශ්‍ය තුනෙන්
දෙකක ඡන්දය ලබාගැනීම සඳහා මහින්ද රාජපක්‍ෂ මහතාගේ මන්ත්‍රී කණ්ඩායමේ සහාය තීරණාත්මක වන බව කී දිසානායක මහතා මෙම සංශෝධනය පිළිබඳව සාධනීය
ලෙස අදහස් ඉදිරිපත් කර තිබීම සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතාට ස්තූතිවන්ත වන බව ද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

මෙම සංශෝධනය පිළිබඳ යෝජනාවී මාර්තු පළමු සතියේ දී න්‍යාය පුස්තකයට ඇතුළත් කර විවාද කිරීමේ හැකියාව පවතින බවත් පාර්ලිමේන්තුවේ සියලු පක්ෂවල නායකයින් හමුවී ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවත් ඔහු කීය.

 ඒ අනුව එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය මෙන්ම මුස්ලිම් කොංග්‍රසය, සහ මනෝ ගනේෂන්, රිෂාඩ් බදුර්දීන් ඇමතිවරුන්ගේ පක්ෂ සමගත් සාකච්ඡා පවත්වන බව ජ.වි.පෙ නායකයා ප්‍රකාශ කළේය.

 අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසුවේ බත්තරමුල්ල, පැලවත්ත පිහිටි ජ.වි.පෙ. පසුෂ මූලස්ථානයේදී ඊයේ (28) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.  පසුගිය ජනාධිපතිවරණයේ දී මෛත්‍රීපාල සිරිසේන මහතාටත් වඩා විධායක ජනාධිපති ක්‍රමයට විරුද්ධව හඬනැගුවේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා බව කී අනුර කුමාර දිසානායක මහතා එම පක්ෂයේ සමුළු දෙකකදි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට යෝජනා සම්මත කරගෙන ඇති බැවින් අගමැතිවරයාට එය මඟහැරිය නොහැකි බව ද කීවේය.

මෙම සශෝධනය පාර්ලිමේන්තුවේ 225 දෙනාම තීන්දුවට යට නොකොට ජනතාව ඉදිරියට ගෙන යෑමට අවශ්‍ය තුනෙන් දෙකක ඡන්දය ලබාදෙන ලෙස තමා සියලුම මන්ත්‍රීවරුන් හා පක්ෂ නායකයින්ගෙන් ඉල්ලා සිටින බවද හෙතෙම ප්‍රකාශ කළේය.

ජනතා විමුක්ති පෙරමුණ විසින් 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කළත්, සියලුම පක්ෂවල සාධනීය යෝජනා සැලකිල්ලට ගෙන ඒවා ඇතුළත් කිරීමට සූදානම් බව කී මන්ත්‍රීවරයා මේ සංශෝධනයන් රට බිලදෙන බවට ඇතැමුන් කරන චෝදනාවල සත්‍යතාවයක් නැතැයි ද කියා සිටියේය.

 මේ සංශෝධනය හේතුවෙන් පාර්ලිමේන්තු මැතිවරණය කල්යාමක් ද සිදුනොවන බව කී අනුර කුමාර දිසානායක මහතා 20 වැනි සංශෝධනය සමත් වෙනවා නම් 2020 මාර්තු මාසයේදී පාර්ලිමේන්තුව විසුරුවන ලෙස ජනතා විමුක්ති පෙරමුණ යෝජනා කර තිබෙන බව කීවේය.

(ඩයනා උදයංගනී)