පියාගේ අමානුෂික  පහරදීම හේතුවෙන් බාල වයස්කාර දියණිය සහ පුතෙකු තුවාල ලබා ප්‍රතිකාර සදහා කරාපිටිය රෝහලට පෙරේදා (25) ඇතුළත් කළ බව හික්කඩුව පොලිසිය කියයි.
මෙම පහරදීම සම්බන්ධයෙන් පියා අත්අඩංගුවට ගෙන සිටින බව ද පොලිසිය කියයි.

කෝටුවකින් පහරදිම නිසා 12 හැවිරිදි දැරියගේ සහ සිවු හැවිරිදි දරුවාගේ බෙල්ලේ, පාදවල සහ පිට ප්‍රදේශයේ පැලීම් සහිත බරපතළ තුවාල සිදුවී ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.

බිමතින් පැමිණි බව කියන පියා
පළමුවෙන් දියණියට පහරදී ඇති අතර, ඇය තම පියාගෙන් මිදී පලා ගිය අස්ථාවේ ඒ අසල සිටි සිව් හැවිරිදි දරුවා පාද දෙකෙන් අල්ලාගෙන පහරදී ඇතැයි මූලික පරීක්ෂණවලින් අනාවරණය වූ බව පොලිසිය කියයි.  මෙම සිද්ධිය පොලිස් හදිසි ඇමතුම් අංශයට කිසියම් පුද්ගලයකු දන්වා ඇති අතර, එම තොරතුර ඔස්සේ පොලිසිය පැමිණ දරුවන් දෙදෙනා බේරාගෙන ආරච්චිකන්ද රෝහලට ඇතුළත් කර ඇති අතර, වැඩිදුර ප්‍රතිකාර සඳහා දරුවන් කරාපිටිය රෝහලට මාරු කර යවා ඇත.
පහරකෑමට ලක්වූ දරු දෙදෙනාගේ මව් කලකට පෙර දරුවන් තනිකර දමා නිවාසින්  පිටව ගොස් ඇති අතර, තම මිත්තනිය ළඟ දරුවන් හැදී වැඩී ඇත.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත සිටියේය. හික්කඩුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.