ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ යන මහත්වරුන් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළා යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන මාස 5ක කාලයක් රක්‍ෂිත බන්ධනාගාරගත කොට සිටි "මර්සලී තෝමස්" නමැති ඉන්දියානු
ජාතිකයා සිද්ධියට අදාළ නඩුවෙන් නිදහස් කරන ලෙස කොළඹ කොටුව වැඩබලන මහෙස්ත්‍රාත් ජයන්ත නානායක්කාර
  මහතා පෙරේදා (27දා) නියෝග කළේය.

වැඩ බලන මහෙස්ත්‍රාත්වරයා එලෙස නියෝග කරනු ලැබුවේ සිද්ධියට අදාළ නඩුව යළි කැඳවූ අවස්ථාවේදීය. ඉන්දියානු ජාතිකයාට

එරෙහිව සිද්ධියට අදාළව සාක්කි නොමැති වීම සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සාක්කි නොමැතිවීම හේතුවෙන් ඉන්දියානු ජාතිකයාට එරෙහිව චෝදනා ගොනු කිරීමට අපේක්‍ෂා නොකරන බවට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දීම සලකා බලා වැඩබලන මහෙස්ත්‍රාත්වරයා ඉන්දියානු ජාතිකයාව අදාළ නඩුවෙන් මුදා හරිනු ලැබීය.

කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා ඉකුත් නඩු දිනයකදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට දන්වා සිටියේ ඉන්දියානු ජාතිකයාට එරෙහිව සිද්ධියට අදාළව සාක්කි ඉදිරිපත් නොවේ නම් මහෙස්ත්‍රාත්වරයකු සතු නීතිමය බලතල අනුව ඔහුව නඩුවෙන් මුදාහරිනු ලබන බවය. එසේ වුවද ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් වලංගු වීසා බලපත්‍ර නොමැතිව මෙරට රැඳී සිටීම මත අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඉන්දියානු ජාතිකයාට එරෙහිව පවරා ඇති නඩුවට අදාළව ලබන මස 13 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට වැඩ බලන මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

වලංගු වීසා බලපත්‍ර නොමැතිව මෙරට රැඳී සිටීම සම්බන්ධව ඉන්දියානු ජාතිකයාට එරෙහිව නඩුවක් ගොනු කරන බවට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන් අතර ඊට අදාළව ඔහුව සැකකරුවකු ලෙස නම් කිරීමට අධිකරණයෙන් ඉල්ලා සිටියේය. සිද්ධියේ අනෙක් සැකකරුවන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු අධ්‍යක්‍ෂ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා ලබන මස 6 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙසට කොළඹ කොටුව වැඩ බලන මහෙස්ත්‍රාත් ජයන්ත නානායක්කාර මහතා නියෝග කළේය.

-අමිල අබේරත්න-