මෙම දිනවල පැතිර යන
ඩෙංගු සහ ඉන්ෆ්ලුවෙන්සා
රෝග වැළඳුනු ගර්භණී මවුවරු අනෙකුත් අයට වඩා අවදානම් තත්ත්වයකට පත්විය හැකි බවත් උග්‍ර සංකුලතා වලට ලක්විය හැකි බවත්  සෞඛ්‍ය අමාත්‍යාංශය
දන්වා සිටී.
ප්‍රජා වෛද්‍ය උපදේශක වෛද්‍ය කපිල ජයවර්ධන දන්වා සිටින්නේ ගර්භණී හෝ පසු ප්‍රසව සමයේ උණ වැළඳුණු මවුවරු රෝගී වූ පළමු දිනයේම රෝහල් ගත කිරීම අවශ්‍ය බවයි.
පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ ආවේක්ෂණ දත්ත වලට අනුව ඉන්ෆ්ලුවෙන්සා නියුමෝනියාව නිසා මෙම වසරේ  මාතෘ මරණ 2 ක් මේ වන විට වාර්තා වී ඇති අතර  2018 වසරේ දී ගර්භණි කාන්තාවන් 11 ක් නියුමෝනියාව නිසා මිය ගියහ. 2017 වසරේ දී ඩෙංගු සහ ඉන්ෆ්ලුවෙන්සා නිසා ගර්භණී මවුවරු 41 කට ජිවිත අහිමි විය.
ගර්භණි මවු වරුන්ට සෙම්ප්‍රතිශ්‍යා උණ රෝග ලක්ෂණ ඇති අය අසලට යාමෙන් සහ වැඩිපුර සෙනග ගැවසෙන ස්ථාන වල රැඳීමෙන් වළකින ලෙසටත් නිවැරැදි ශ්වසන ස්වාස්ථතාවයන් අනුගමනය කරන ලෙසටත් උපදෙස් ලබා දී ඇත .
උණ වැළඳුණු ගර්භණී හෝ පසු ප්‍රසව මවුවරු පළමු දිනයේම රෝහල් ගත කිරීමෙන් එම මවුවරුනට විශේෂිත ප්‍රතිකාර ලබා දිය හැකි බව පවුල් සෞඛ්‍ය කාර්යාංශය පවසයි.
එවැනි මවුවරුන් පළමු දිනයේම රෝහල් ගත කිරීමට සියලුම වෛද්‍ය ආයතන වලට, රජයේ සහ පුද්ගලික වෛද්‍යවරුන් ට, බාහිර රෝගී අංශ වලට සහ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ට උපදෙස් මේ වනවිටත් නිකුත් කර ඇත.