පොලිස් සන්නද්ධ කණ්ඩායමක් විසින් රැගෙන ගොස් මරා පුළුස්සා දමා ඇතැයි පැවසෙන බූස්ස රන්න උදාගම ව්‍යාපාරිකයින්ගේ නිවෙස් වලට ලැබෙන නිර්නාමික දුරකථන ඇමතුම් පිළිබඳව අද (26) දින රත්ගම පොලිසියට සහ ගාල්ල අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුවට ගොස් පැමිණිලි කර ඇත.

 අතුරුදන්ව සිටින මංජුල අසේල ගේ පියා වෙත පළමු දුරකථන ඇමතුම ලැබී තිබුනේ පසුගිය 21 දා සවස 4 ට හා ඊට පැයකට පසුවයි.

 යළි එම අංකයෙන්ම දුරකථන ඇමතුමක් ලැබි ඇත. ඒ පිළිබඳව අප හමුවේ මංජුල ගේ පියා වන ජි. පි. සෝමදාස මහතා මෙසේ පැවසීය.
''අපේ දරුවන් අතුරුදන් වෙලා දැන් මාසයකට වැඩියි. සි.අයි.ඩි එකේ මහත්තරු කියන්නේ මරලා පුච්චලා කියලා.

 ඒත් ගිය 21 වැනිදා රත්ගම පොලිසියේ රථවාහන අංශයේ රාලහාමිලා දෙන්නෙක් අපේ ගෙදර ළඟට ඇවිත් මංජුලගේ තාත්තද කියා අහලා මාගේ දුරකථන අංකය ඉල්ලාගෙන ගියා. ඊට විනාඩි දහයකට පස්සේ කොළඹ පොලිස් මූලස්ථානයෙන් කියලා සි .අයි දිසානායක කියා කෙනෙක් කථා කරලා කිව්වා ළමයි දෙන්නා කරදරයක් නැතිව ඉන්නවා. මන්නාරම පැත්තේ කරවල වාඩියක හංගාගෙන ඉන්නේ. එයාලව බේරගන්න හෙට යනවා ඉතිං ඒකට වියදමක් යනවා රුපියල් පනස් දාහක් බැංකු ගිණුමකට දාන්න කියලා. පස්සේ ඊට පැයකට විතර පස්සේ ආයිත් කථා කරලා ඇහුවා අර වැඩේ හරිද කියා ඉරිදා හවස 2 වෙනකොට ඔයාලා කොළඹ මූලස්ථානයට එන්න එතකොට ළමයි දෙන්නා බලන්න පුළුවන් කියලා. ඊට පස්සේ අපි රත්ගම හංදියේ උද්ඝෝෂනය කරපු දවසේ කෝල් දීලා කිව්වා රුපියල් ලක්‍ෂ පහක් දුන්නොත් දෙන්නා නිදහස් කරන බව.''