"කතානායකතුමා තමා එල්ලුවත් මැතිසබයේ බුලත් කෑම නවත්වන්නේ නැතැයි" දිගාමඩුලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක (එජනිස) කතානායක කරු ජයසූරිය මහතාට ලිපියක් යවමින් දැනුම දී ඇත.

බත බුලත මේ රටේ සංස්කෘතියේ අංගයක් බැවින්,
ඊට එරෙහිව යෑමට කිසිවකුටත් අයිතියක් නැතැයි විමලවීර දිසානායක  ඊයේ පැවැසිය.මේ රටේ ජනතාව අනාදිමත් කාලයක සිට බුලතට හුරු වී සිටි ජාතියක් බව කී දිසානායක මහතා, උතුම් වූ මහා සංඝරත්නයට පවා සංස්කෘතියේ අංගයක් ලෙස පළමුව පිරිනමන්නේ දැහැත් වට්ටිය බව ද ප්‍රකාශ කළේය. එසේම බුලත් කෑම දුම්බීම මෙන් බාහිර පුද්ගලයන්ට හානියක් ඇති වන දෙයක් නොවන බව ද ඔහු කීය.

මැතිසබයේ බුලත් විට කන මන්ත්‍රීවරු දෙදෙනෙක් සිටියි. විමලවීර දිසනායක හා හිටපු සංස්කෘතික කටයුතු ඇමැතිවරයකු වූ ටී.බී. ඒකනායක එම දෙදෙනායි.

මැතිසබයේ බුලත් කෑම නවත්වන්නේ නැතැයි ටී.බි. ඒකනායක මන්ත්‍රීවරයා ද දැනටමක් ප්‍රකාශයක් කර ඇත. මෙම රජයේ ආයතන තුළ බුලත් කෑම නතර කිරීමට කැබිනට් මණ්ඩලය ඉකුත්දා තීරණයක් ගත්තේය. මේ තීරණයත් සමග මැතිසබයේ බුලත් කන්නන් පිළිබඳව ද පසුගිය දිනවල ලොකු කනාබහක් ඇතිවිය.

(සුජිත් හේවාපුලිගේ)