ජාතික ආරක්ෂක මණ්ඩලය පසුගිය පෙබරවාරි මස 19 වැනිදායින් පසුව පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුවන තුරුම මාස දෙකක් තිස්සේ රැස්වී නැතැයි ජාතික බුද්ධි ප්‍රධානී  හිටපු නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස් මහතා එම ප්‍රහාරය පිළිබඳ කරුණු සොයා බැලීමට පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ ඊයේ (29) සාක්කි දෙමින් ප්‍රකාශ කළේය.

ආරක්ෂක බුද්ධි මණ්ඩලය ඉකුත් අප්‍රේල් මස 09 වැනිදා අඟහරුවාදා රැස්වූ අවස්ථාවේදි පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව කල්තියා ලැබුණු තොරතුරු සාකච්ඡාවට ගත යුතු බව තමා පැවසුවත් එහිදී ඊට අවධානයක් යොමු නොවුණු බව පැවසු සිසිර මෙන්ඩිස් මහතා ඊට පසුව ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරය එල්ල වනතුරුම බුද්ධි මණ්ඩලයේදී

ඒ කාරණය ගැන සාකච්ඡා නොකෙරුණු බවද සඳහන් කළේය.

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳව කරුණු  සොයා බැලීමට පත් කරුණු පාලිමේන්තු විශේෂ කාරක සභාවේ රැස්වීම එහි වැඩබලන සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයපත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ කමිටු ශාලා 4 හිදී ඊයේ (29) දවස පුරා පැවැත්විණි.

විශේෂ කාරක සභාව හමුවේ වැඩිදුරටත් සාක්ෂි දුන් සිසිර මෙන්ඩිස් මහතා පැවසුවේ අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන්ගේ තර්ජන ගැන ආරක්ෂක මණ්ඩලයේදී අවස්ථා කිහිපයකදීම සාකච්ඡා කළ බවය.

ත්‍රස්ත කල්ලි නායක මොහොමඩ් සහරාන්  හෂිම් ගැනද ආරක්ෂක මණ්ඩලයේදී සාකච්ඡා කෙරුණු බවත් ආරක්ෂක මණ්ඩලයේදී පළමු වරට ඔහු ගැන සාකච්ඡා කෙරුණේ 2015 ඕක්තෝබර් 06 වැනිදා බවත් ඔහු අනාවරණය කළේය.

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව ලැබුණු බුද්ධි තොරතුරු ජාතික පොලිස් බුද්ධි ඒකකයේ ප්‍රධානියා විසින් අප්‍රේල් මස 08 වැනිදා තමා වෙතද යොමු කර තිබිණි යැයී කී සිසිර මෙන්ඩිස් මහතා එම තොරතුරු ක්‍රියාමාර්ග ගැනීම සඳහා පොලිස්පතිවරයාට යොමු කළ බව අදහස්  කළේය.

 එම බුද්ධි තොරතුරු ලැබුණේ කාගෙන්දැයි තමා නොදන්නා බවත් එය ලැබුණේ කාගෙදැයි බුද්ධි මණ්ඩල රැස්වීමකදී පවා කරුණු විමසීම් නොකෙරුණු බවත් ඔහු කීවේය.

මේ සිද්ධිය සම්බන්ධයෙන් තමා හිටපු පොලිස්පතිවරයාට චෝදනා නොකරන බවත් බුද්ධි තොරතුරු විශේලේෂණය කර ත්‍රස්තවාදය මැඩපැවැත්වීම සඳහා යාත්ත්‍රණයක් සකස් කිරීම පොලිස්පතිවරයාගේ වගකීම බවත් පැවසූ සිසිර මෙන්ඩිස් මහතා සියලුම බුද්ධි අංශවල ඒකාබද්ධතාවක් කිරීම වැදගත් බවද කමිටුව හමුවේ පිළි ගත්තේය.

මෙම පාර්ලිමේන්තු විශේෂ කාරක සභා රැස්වීමට එහි සාමාජිකයන් වන අමාත්‍යවරුන් වන රවී කරුණානායක, රවුෆ් හකීම්. හිටපු අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහාචාර්ය ආශු මාරසිංහ, වෛද්‍ය නලින්ද ජයතිස්ස (ජවිපෙ) හා පාර්ලිමේන්තු සහකාර ලේකම් ටිකිරි ජයතිලක යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද සහභාගි වූහ.