මීගමුව කොච්චිකඩේ පොලිස් බල ප්‍රදේශයේ මා ඔයේ තිබි භාවිතයට නොගත් දුරකථන සිම් කාඩ්පත් 5,000කට ආසන්න සංඛ්‍යාවක් කොච්චිකඩේ පොලිසිය විසින් සිය හාරයට ගෙන තිබේ. ඊයේ (20) පෙරවරුවේ මා ඔයේ මසුන් ඇල්ලීම සදහා ගිය තරුණ පිරිසකට මේ සිම් කාඩ්පත් අඩංගු ගෝනිය හමු වී ඇති අතර පසුව
ඔවුන් වෙන්නප්පුව පොලිසියට කළ දැනුම් දීමකට අනුව ගෝනිය ගොඩට රැගෙන එන ලෙස පොලිස් නිලධාරින් දැනුම් දී තිබේ.

අනතුරුව ගෝනිය
ගොඩට ගෙන පරික්ෂා කිරීමේ දී මෙය තිබී ඇත්තේ කොවිචිකඩේ පොලිස් වසමේ බැවින් සිම් කාඩ් තොගය කොච්චිකඩේ පොලිසියට භාර දෙන ලෙස වෙන්නප්පුව පොලිසියේ නිලධාරින් විසින් දැනුම් දී තිබේ. ඒ අනුව ගම්වැසියන් නැවත සිම් කාඩ් තොගය මා ඔයෙන් එගොඩ කර කොච්චිකඩේ පොලිසියට භාර දී ඇත. මේ සිම් කාඩ් සමග මාතර ප්‍රදේශයේ පදිංචිකාරිනියකගේ ලිපිනයක් හා දුරකථන අංකයක් තිබී හමු වී තිබේ. කොච්චිකඩේ පොලිසිය මේ පිළිබද වැඩිදුර පරික්ෂණ පවත්වයි.

-ප්‍රසාද් පුර්ණමාල් ජයමාන්න-