පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු වයඹ පළාත ඇතුළු ප්‍රදේශ කිහිපයක ජනතාවගේ දේපළ හානිකිරීම් සිදුවීම් පිටුපස ප්‍රබල හස්තයක් ක්‍රියාත්මක වූ බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක පවසයි. යුද
ජයග්‍රහණයට දස වසරක් පිරීම නිමිත්තෙන් පැවැත්වෙන සැමරුම් පිළිබදව මාධ්‍ය දැනුම්වත් කිරීම සඳහා ඊයේ (16) කොළඹදී පැවති මාධ්‍ය හමුවේදී යුද හමුදාපතිවරයා මේ බව පැවසීය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ යුද හමුදාපතිවරයා,

"සාමයේ දසවර්ෂාභිෂේක සැමරුම" නම් වන එම සැමරුම්වලට සමගාමීව
තම මියගිය ඥාතීන් සහ හිතවතුන් සැමරීමට උතුරේ සහෝදර දමිළ ජනතාවට කිසිදු තහනමක් නොමැති බව අවධාරණය කළේය. තමන් එම සැමරුම් දිරි ගන්වන බවත් පවතින නීති රාමුව තුළ එම සැමරුම් සිදු කරන ලෙස පමණක් ඉල්ලා සිටින බවත් ඔහු මෙහිදී සඳහන් කළේය. තිස් වසරක යුද්ධයෙන් අනතුරුව දස වර්ෂ පූර්ණය සමරන මොහොතේ රටේ ගැටුම්කාරී වාතාවරණයක් පැවතීම කණගාටුදායක තත්වයක් බව පැවසූ හමුදාපතිවරයා, එම ප්‍රදේශ ආශ්‍රිතව යුද හමුදා කදවුරු නොපවතින බවත් යුද හමුදාව විශාල වශයෙන් එම ප්‍රදේශවල යොදවා නොතිබීමෛන් මුල් අවස්ථාවේදී එය පාලනය කිරීමට අපහසු වූ නමුත් මේ අවස්ථාව වන විට තත්වය සම්පුර්ණයෙන් මැඩපැවැත්වීමට හැකිව ඇති බව වැඩිදුරටත් පැවසීය.

රිෂාඩ් බදුර්දීන් අමාත්‍යවරයා යුද හමුදාපතිවරයාට බලපෑම් එල්ල කළ බවට විපක්ෂය නගන චෝදනා සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දුන් යුද හමුදාපතිවරයා, අමාත්‍යවරයා එවැනි බලපෑමක් නොකළ බවත් දෙහිවල ප්‍රදේශයේදී සැකපිට අත් අඩංගුවට ගත් පුද්ගලයෙකු සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීම සදහා තුන් වතාවක් තමා ඇමතූ බවත් හෙළි කළේය. යුද හමුදා බුද්ධි අංශ පසුගිය සමයේ බිඳ වැටුණු බවට තමා කිසි විටෙක ප්‍රකාශ කර නොමැති බව අවධාරණය කළ යුද හමුදාපතිවරයා, යම් යම් සිදුවීම් සම්බන්ධයෙන් චෝදනා ලැබූ නිලධාරීන් වෙනත් ස්ථානවලට මාරු කිරීමට සිදු වීමෙන් කෙටි කාලීන පසුබෑමක් පමණක් ඇති වූ නමුත්, පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන පූර්ව දැනුම්දීම්, එම ප්‍රහාරය සම්බන්ධ පරික්ෂණ සහ
අත්අඩංගුවට ගැනීම් ඉතා කඩිනමින් සිදු වීමෙන්ම බුද්ධි අංශ මේ වනවිට ඉතා සාර්ථකව ක්‍රියාත්මක වන බව සනාථ වන බවද පැවසීය.

මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන යෑම සහ  පහරදීම සම්බන්ධ නඩුවේ ප්‍රධාන චූදිතයා වන මේජර් ප්‍රහාත් බුලත්වත්ත යළි යුද හමුදා සක්‍රීය සේවයට සම්බන්ධ කර ගැනීම ගැන මෙහිදී මාධ්‍යවේදීහු යුද හමුදාපතිවරයාගෙන් ප්‍රශ්න කළහ. එයට පිළිතුරු දුන් යුද හමුදාපතිවරයා, මේජර් බුලත්වත්ත තමාගේ සෘජු අධීකෂණය යටතේ තමාගේ කාර්ය මණ්ඩලයේ සේවය කිරීමට යොදවා ගත්තේ ඔහු සතු විශේෂඥතාවකින් ප්‍රයෝජන ගැනීම සදහා බවත් ඒ හරහා කිසිදු නඩු කටයුත්තකට සහ මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාවට බලපෑම් නොවන බවට තමන් පෞද්ගලිකවම වගකියන බවද සදහන් කළේය.

ඔහුට එරෙහිව ඇති චෝදනාවලට පවා වගකිවයුත්තේ ඔහුට අණ දුන් පුද්ගලයන් බව පැවසූ යුද හමුදාපතිවරයා, එම අණ ලබා දීමට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සම්බන්ධ නැති බවද අවධාරණය කළේය. දිවයින පුරා සිදුවන වැටලීම් වාර්ත කිරීමට මාධ්‍යයට වාරණයක් නොමැති නමුත් වගකීම් සහගත වාර්තා කිරීම් වෙනුවට මාධ්‍ය 'රඟපෑම්' වළක්වන ලෙස රජයෙන් ඉල්ලා සිටියේ තමන් බවද යුද හමුදාපතිවරයා  මෙහිදී හෙළි කළේය.  'බෝර දොළහේ තුවක්කුවකට යොදන උන්ඩ තුනක්" අත්අඩංගුවට ගැනීමත් 'ආයුධ ගබඩාවක්" අත්අඩංගුවට ගැනීමක් ලෙස වාර්ත කිරිමෙන් නැති අනාරක්ෂිත තත්වයක් මවා පෙන්වීම නොකරන ලෙසද මෙහිදී යුද හමුදාපතිවරයා මාධ්‍යවලින් ඉල්ලීමක් කළේය.

-මංජුල සමරසේකර-