දිඹුලාගල අධ්‍යාපන කොට්ඨාසයේ අරලගංවිල ප්‍රසිද්ධ පාසලක සාමාන්‍ය පෙළ සිසුන් සිවු දෙනෙකු පෙරේදා (28) එහි වැසිකිළියක් තුළ මත්වතුර බීමට සූදානම් වෙද්දී අරක්කු බෝතල් දෙකක් සමග සිය බාරයට ගත් බව ගුරුවරු පවසති.

මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාග යට පෙනී සිටීමට සූදානම් එම සිසුන් සිවුදෙනා අරලගන්විල පොලිසියට බාර දුන් බව ද පාසල් ප්‍රකාශකයෙක් කීය.

මවුපියන් පාසලට ඇතුළු වන සිසුන්ගේ බෑග් පරික්ෂා කළ ද මෙම අරක්කු බෝතල් අසුවී නොමැත. පසුව කළ විමර්ශනවලදී සැකකාර
සිසුන් දෙදෙනකු සිය කළිසම් සාක්කුවේ දමාගෙන අරක්කු බෝතල් දෙක පාසලට රැගෙන ගොස් ඇති බවට අනාවරණය වී ඇත.

එසේ  රැගෙන ගිය අරක්කු බීමට තවත් සිසුන් දෙදෙනකු සමග පාසලේ වැසිකිළියට ගිය අවස්ථාවේ ගුරුවරුන්ට මෙම සිසුන් සම්බන්ධයෙන්  සැකසිතී සොයා බැලීමේදී  අරක්කු බෝතල් සමග මෙම සිසුන් ගුරුවරුන්  බාරයට ගෙන ඇත.

මෙම සිසුන් සිවුදෙනාගේ මවුපියන් සහ  ගුරුවරුන් පොලිසිය  ගෙන්වා දැඩි ලෙස අවවාද කළ බව අරලගංවිල පොලිසිය කියයි.

 මීට පෙර අවස්ථා කීපයකදී මෙවැනි සිද්ධි කීපයක් පොලිසියට වාර්තා වූ බව අරලගංවිල පොලිසිය සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් දිඹුලාගල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා චන්දමාලි වාසලමුදලි මහත්මියගෙන් අප කළ විමසුමකදී කීවේ මේ පිළිබඳව තවමත් තමන්ට වාර්තා වී නොමැති බවත් වහාම මේ සම්බන්ධයෙන් සොයා බලන බවය.