අයි.එස්.අයි.එස් ත්‍රස්තවාදීන් හා සමීප සබඳතා පැවැත්වූ බවට සැකකරන රිමාන්ඩ් සිරකරුවකු වෙනත් නඩුවක් සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිට ඉකුත්දා ඇපමත නිදහස්ව ගොස් ඇති බවට බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණය කරයි.

 බන්ධනාගාර සිරකරුවන් පිරිසක් බන්ධනාගාර නිලධාරින්ට දුන් තොරතුරකට අනුව මෙම සැකය මතුවී ඇති අතර ඒ පිළිබඳව සෙසු සැකකරුවන් පිළිබඳව පරික්ෂාවක් ද සිදුකර ඇතැයි දැන ගැනීමට තිබේ.

එම සැකකරු මාස 6කට ආසන්න කාලයක් රිමාන්ඩ් වී සිට ඇතැයි ද පැවසේ.ඉකුත්දා සිදුවූ ත්‍රස්ත
ප්‍රහාරයත් සමගම මෙම සැකකරු පිළිබදව බන්ධනාගාර බලධාරීන් සොයා බලා ඇතත් ඒ වනවිට ඔහු ඇපමත නිදහස්ව ගොස් ඇති බවට තොරතුරු හෙළිවීතිබේ.

මේ සිද්ධියත් සමගම කොළඹ හා තදාසන්න බන්ධනාගාරවල රඳවා සිටින සැකකරුවන් වෙන් වෙන් වශයෙන් පරීක්ෂාවට ලක්කර වෙනම ආරක්ෂිත ස්ථානවල රැඳවීමට පියවර ගෙන ඇතැයි ද සඳහන් වේ.

කෙසේ වෙතත් ඇප මත නිදහස්වී ගොස් ඇති සැකකරුවන් පිළිබඳව මෙතෙක් කිසිදු තොරතුරක් දැනගන්නට නැතැයි ද පැවසේ.

සැකකරු ඉදිරි පරික්ෂණ කටයුතු සඳහා අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් අවශ්‍ය තොරතුරු පොලිසියට ලබාදීමට බන්ධනාගාර නිලධාරින් පියවර ගෙන ඇතැයි ද වාර්තා වේ.

මේ පිළිබඳව කරන ලද විමසුමක දී එහි උසස් නිලධාරියකු පැවසුවේ ජීවිත ආරක්ෂාව සඳහා අදාළ සැකකරුවන් වෙනම රඳවා තබන බවය. අයි එස් සංවිධානය හා සම්බන්ධ බවට සැකකරන අයකු පිළිබඳව මෙතෙක් තොරතුරක් ලැබී නැතැයි ද ඔහු කීය.

-ජයන්ත සමරකෝන්-