ආගම් හා ආගමික කණ්ඩායම් අතර වෛරය පැතිරවීම සඳහා පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට දේශන පැවැත්වූ අයකු මැයි මස 31දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මාවනැල්ල වැඩ බලන මහෙස්ත්‍රාත් ප්‍රියන්ත විජේකෝන් මහතා නියෝග කළේය. මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ මාවනැල්ල පොලිස්
වසමේ හිඟුල දෙල්ගහගොඩ ග්‍රාමයේ පදිංචි 30 හැවිරිදි අවිවාහක  ගුරුවරයෙකි.මෙම ගුරුවරයා කුරුණෑගල කැකුණුගොල්ල ග්‍රාමයේ ඉස්ලාමීය මුස්ලිම් පාසලේ ගුරුවරයකු ලෙස සේවය කරන අතර සැකකරු කැකුණුගොල්ල ප්‍රදේශයේ තාවකාලිකව නිවෙසක පදිංචිව සිටියි.

සැකකාර ගුරුවරයා කැකුණුගොල්ල
මුස්ලිම් පාසලේ අධ්‍යාපනය  ලබන දරු දැරියන් හට ජාතික ආගම් ආගමික කණ්ඩායම් අතර වෛරය පැතිරවීම සඳහා තවුහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන්ගේ දේශන ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් හට පවත්වා ඇත. පසුව මෙම දේශන සිදුකිරිම සම්බන්ධයෙන් විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් තම මවුපියන්ට දැනුම් දීමෙන් පසු මවුපියන් හා ශිෂ්‍ය ශිෂ්‍යාවන් කෑගල්ල කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන ඒකකයට  අවස්ථා කිහිපයකදී පැමිණිලි කර තිබිණි.

පසුව කෑගල්ල කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් කණ්ඩායමක් මේ ගුරුවරයා ඉකුත් 25දා මාවනැල්ල පොලිස් වසමේ හිඟුල දෙල්ගහගොඩ සිය නිවෙසට නිවාඩුවට පැමිණ සිටියදී අත්අඩංගුවට ගෙන තිබිණි. සැකකරු සහරාන් සමඟ ගනුදෙනු කර  ඇති අතර ඊට සම්බන්ධ තොරතුරු ඇතුළත් සිඩි තැටියක්ද පොලිසිය විසින් සොයාගෙන තිබිණි. ඊට අමතරව සැකකරුගේ නිවෙසේ තිබී උපදෙස් මාලා පොත් කිහිපයක්ද පොලිස් භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු පසුගියදා (26දා) මාවනැල්ල වැඩ බලන මහෙස්ත්‍රාත් ප්‍රියන්ත විජේකෝන් මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මැයි 31 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක අතුල අබේරත්න මහතාගේ උපදෙස් පරිදි පොලිස් පරීක්ෂක රණසිංහ සැකකරු මාවනැල්ල අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.


-චමින්ද ජයලත්-