විල්පත්තු ජාතික වනෝද්‍යානයේ අධිරක්ෂිතයට අයත් අක්කර දහස් ගණනක භූමි ප්‍රදේශයක් නීතිවිරෝධී ලෙස එළිපෙහෙළි කරමින් නැවත පදිංචිකිරීම් හා අනවසර ඉදිකිරීම් සිදුකරන  පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස කර්මාන්ත හා වානිජ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ඇතුළු බලධාරින්ට නියෝග කරන්නැයි
ඉල්ලා පාරිසරික යුක්ති කේන්ද්‍රය ගොනු කළ නඩුව විභාග කළ අභියාවනාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන මහතා එම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කිරීමෙන් වැළකී සිටීමට තීරණය කර ඇත.

ඒ අනුව මෙම නඩුව ජුලි 31 වැනි සිට යළි මුල සිටම විභාගයට ගැනීමට අභියාචනාධිකරණය ඊයේ (27) දින නියම කළේය.

මෙම නියෝගය නිකුත් කෙරුණේ මෙම නඩුව ජනක් ද සිල්වා සහ බන්දුල නිශ්ශංක කරුණාරත්න යන අභියාචනාධිකරණ විනිසුරුවරුන් හමුවේ ඊයේ (28) කැඳවනු ලැබූ අවස්ථාවේදිය.

නඩු තීන්දුව ප්‍රකාශ කිරීමෙන් වැළකෙන බව විනිසුරු මහින්ද
සමයවර්ධන මහතා අහියාචනාධිකරණ සභාපති යසන්ත කෝදාගොඩ මහතාට පෙරේදා (27) දැනුම් දී තිබූ අතර, අභියාචනාධිකරණ සභාපති විසින් නඩුව යළි විභාගයට ගැනීමට දින නියම කිරීම් සඳහා එය ජනක් ද සිල්වා සහ බන්දුල නිශ්ශංක කරුණාරත්න යන මහත්වරුන්ගෙන් යුත් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල වෙත යොමු කර තිබිණි.

ඒ අනුව මෙම නඩුව එම අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ ඊයේ කැඳවනු ලැබූ අවස්ථාවේදී නඩුව ජුලි 31 වැනිදා සිට යළි මුල සිටම විභාගයට ගැනීමට දින නියම කෙරිණි.

2015 වසරේ අභියාචනාධිකරණය හමුවේ ගොනු කළ මෙම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කිරීම තුන්වරක් කල් තැබූ අතර, අවසන් වරට අගෝස්තු 06 වැනිදා තීන්දුව ප්‍රකාශයට පත්කිරීමට දින නියම කර තිබිණි.

පාරිසරික යුක්ති කේන්ද්‍රයෙන් ගොනු කර තිබූ මෙම රිට් පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් වනජීවී අධ්‍යක්ෂ ජනරාල්. මධ්‍යම පරිසර අධිකාරිය, මන්නාරම දිස්ත්‍රික් ලේකම්. කර්මාන්ත හා වානිජ අමාත්‍ය රීෂාඩ් බදියුදීන්, නීතිපතිවරයා ඇතුළු නව දෙනෙක් නම් කරනු ලැබ සිටිති.

ජාතික පාරිසරික පනත උල්ලංඝණය කරමින් විල්පත්තු වන රක්ෂිතයේ සිදුකෙරෙන එළිපෙහෙළි
කිරීම නිසා එම වන රක්ෂිතයේ ජෛව විවිධත්වයට දැඩි හානි සිදුව ඇතැයි පෙත්සම්කාර යුක්ති කේන්ද්‍රය සඳහන් කර සිටී.

ගොනු කර ඇති පෙත්සමේ මෙසේද සඳහන් විණි. ශ්‍රී ලංකාවේ ජාතික වනෝද්‍යාන වලින් එකක් වන විල්පත්තු වනෝද්‍යානයේ අධිරක්ෂිත කලාපයට අයත් අක්කර දහස් ගණනක් එළිපෙහෙළි කොට නීතිවිරෝධී ලෙස පුද්ගලයින් පදිංචි කර තිබේ. වගඋත්තරකාර අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ මැදිහත්වීමෙන් සිදුකරන මෙම නැවත පදිංචි කිරීම යටතේ පවුල් 1500 ක් මේවනවිට එම වන රක්ෂිතයේ නැවත පදිංචිකරවා ඇතැයිද පෙත්සමේ සඳහන් වේ.

මම නැවත පදිංචිකිරිම් ජාතික පාරිසරික පනත උල්ලංඝනය කරමින් සිදුකර ඇති බව ද පෙත්සමේ දැක්වේ.
පාරිසරික පනතට සහ පවතින නීතියට පටහැනි ලෙස මෙම වන එළිපෙහෙළි කිරීම, නැවත පදිංචිකිරීම් හා අනවසර ඉදිකිරීම් සිදුකරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට බලධාරීන්ට නියෝග නිකුත් කරන ලෙස පෙත්සම්කාර පාරිසරික යුක්ති කේන්ද්‍රය අධිකරණයෙන් ඉල්ලා සිටී.

පෙත්සම්කාර ආයතනය වෙනුවෙන් නීතීඥ රවින්ද්‍රනාත් දාබරේ මහතා පෙනී සිටින අතර නීතීපති වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ මනෝහාර ජයසිංහ මහතා පෙනී සිටියේය.

(රංජන් කටුගම්පොළ සහ තිළිණි ද සිල්වා)