යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා පාස්කු ඉරුදින ප්‍රහාර ගැන කරුණු සොයන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි දීමට ඊයේ (26) පස්වරුවේ පැමිණ විනාඩි කිහිපයකින් සියලු ජනමාධ්‍යවේදීහු ඒ කමිටු ශාලාවෙන් ඉවත් කරනු ලැබුහ. රැස්වීම ආවරණය කිරීමට පැමිණි ජනමාධ්‍යවේදිහු ඉන් අපහසුතාවට  පත්වූහ.

කමිටු ශාලාවෙන් ජනමාධ්‍යවේදින්  ඉවත් කිරීමට තීරණය කෙරුණද කමිටුවේ සාමාජිකයන් අතරේ ඒ පිළිබඳ පැහැදිළි එකකත්වයක් නොතිබිණි.  මාධ්‍යවේදීන් ඉදිරියේ ඇසිය යුතු ප්‍රශ්න ඇසු පසුව ජාතික ආරක්‍ෂවට අදාළ ප්‍රශ්න ඇසීම සඳහා ජනමාධ්‍යවේදින්  ඉවත් කළ යුතු බව කමිටුවේ සාමාජික ෆීල්ඩ්
මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා එහිදී පැවැසූ අතර ඇමැති රවි කරුණානායක මහතා පැවැසුවේ මේ මොහොන්නේ මාධ්‍යවේදින් ඉවත් කළ යුතු  බවයි.

ඒ අනුව විශේෂ කාරක සභාවේ  සභාපති නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා "කරුණාකරල මාධ්‍යවේදීන් ඉවත් වෙන්න" යනුවෙන් නියෝග කළේය. එහිදී මාධ්‍යවේදිහු ඒ නියෝගයට අවනතව කමිටු ශාලාව්වෙන් ඉවත් වූහ.  රවි කරුණානායක ඇමැතිවීරයා  මාධ්‍යවේදීන් ඉවත් කළ යුතු බව පැවැසුව ද යුද හමුදාපතිවරයා මාධ්‍යවේදින් ඉවත් කරන්නැයි ඒ මොහොතේ දී කමිටුවෙන් ඉල්ලීමක් කළේ නැත.

ඊට විනාඩි විස්සකට පමණ පසුව  මාධ්‍යවේදීන් යළි කැඳවනු ලැබූ  අතර සක්ෂී විමසීම අවසන් වී යුද හමුදාපතිවරයා කමිටු ශාලාවෙන් පිටව යනු එහිදී දැකගත හැකි විය. මේ අනුව යුද හමුදාපතිවරයාගෙන් සිය විමසීම ඊයේ ජනමාධ්‍යවේදීන්ට වාර්තා කළ හැකි වූයේ විනාඩි දහයක් පමණි.

-සුජිත් හේවාජුලිගේ-