තම කම්කටොලු, දුක් කරදර අඩුවී සිතට සැනසිල්ල උදා කරගැනීමට දේවාලවලට යන අසරණ ජනතාව පීඩාවට පත් කරමින් ඔවුන්ගෙන් මුදල් ගසාගැනීමේ ව්‍යාපාරයක් අලුත්නුවර දේවාලයක භාරකරුවෙක් සිදුකරන බවත්, එම වයෝවෘද්ධ කපු මහතා වෙත පැමිණෙන බැතිමතුන් පූජා වට්ටිය වෙත තබන මුදල්වලට
අමතරව මුදල් ඉල්ලා සිටින බවද
බැතිමතුන් චෝදනා කරයි. තම අසරණභාවයට සිතට සැනසිල්ලක් ලැබේ යැයි විශ්වාසය ඇතිවන ස්ථානවල මෙවැනි කටයුතු සිදුවීමෙන් තමන් මහත් කමේපාවට පත්වන බවත්, දෙවියන් කෙරෙහි ඇති විශ්වාසය මෙන්ම භක්තියද පලුදුවන බවද ඔවුහු සඳහන් කරති.

 මෙවැනි ආකාරයක සිදුවීමකට මුහුණ දුන් වරකාපොළ පී.ඩී. මහින්ද මෙන්ඩිස් මහතා මෙසේ අදහස් දැක්වීය.

"අපිට කතරගම දේවාලයේ භාරයක් තිබුණා.ඒ දවස්වල කතරගම යන පරක්කු වෙන නිසා අපි අලුත්නුවර කතරගම දේවාලයට ගිහින් අපේ භාරය ඔප්පු කරන්න කටයුතු කළා. නමුත් එහි එක් දේවාලයක සිටි කපු මහත්තයෙක් පූජා වට්ටියේ තිබෙන මුදල කීයක්ද කියලා ඇහුවා. මම කිව්වා රුපියල් 500ක් තිබනවා කියලා. ඊට පස්සේ තවත් රුපියල් 200ක් ඉල්ලා සිටියා. මෙයා ගොඩක් වයසක පුද්ගලයෙක්. ඉතින් සල්ලි ඉල්ලුවාම අපි ඒ මුදල තිබ්බා. නමුත් මෙයින් සිදු වුණේ සල්ලි ඉල්ලුවාම අපි භක්තියෙන් කරන්න ගිය පූජාව පවා භක්තියෙන් සිදු නොවීමයි. දේවාලවල එහෙම මුදල් ඉල්ලා ලබාගැනීමක් මම නම් දැකලා නෑ"

 යැයි ඔහු පැවැසීය.