කොළඹ වරාය නැගෙනහිර ජැටිය විදේශයට පැවරීමට යෑම තුළ 51%ක් වරාය අධිකාරියටත් 49%ක් ඉන්දියාවටත් පැවරෙන බව ගිවිසුම්ගත කළත් අදාළ 51%ද ලංකාවට අහිමිව යන බරපතළ අනතුරක් උද්ගතව ඇතැයි සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමය අනාවරණය කරයි.

එම සංගමයේ ලේකම් චන්ද්‍රසිරි මහගම  ප්‍රකාශ කළේ ඉන්දියාව විසින් ජපානය සමඟ එක්ව පිහිටුවාගත් සමාගමක් හරහා මේ ගිවිසුම ක්‍රියාත්මක කරනු ලබන අතර එහි ක්‍රියාවලිය සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ සම්පුර්ණයෙන්ම දැනුවත් බවට තමාට තොරතුරු ලැබී ඇති බවයි.

මෙකී පැවැරිමෙන් 51%ක් වරාය අධිකාරිය සතු වන බව පැවැසුවත් එය ස්ථිරසාරව කිව හැක්කේ කෙසේ දැයි තමා වරාය අධිකාරියේ සභාපතිවරයාගෙන් විමසූ විට ඔහු පැවසුවේ තමා සිටිනතුරු පිටස්තර අයට ලබාදීමට කටයුතු නොකරන බවත් ඔහුගේ මේ ප්‍රකාශයෙන්ම පෙන්නුම් කරන්නේ අදාළ ගිවිසුම ශක්තිමත් නොමැති බව යැයි ඒ මහතා සඳහන් කළේස්ය.

ඔහු තවදුරටත් කියා සිටියේ ඉහත කී ගිවිසුම පසුගිය මැයි (28දා) ඉන්දියාව, ජපානය හා ශ්‍රී ලංකාව එක්ව අස්සන් කර ඇතැයිද එම සාමූහික ගිවිසුම ඉදිරි මාස දෙක තුළ එකඟතා ගිවිසුමක් බවට පත්වී සක්‍රිය වන නිසා රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා මේ ක්‍රියාව වහාම නැවැත්වීමට කටයුතු කළ යුතුය බවය.

ඒ වෙනුවෙන් සියලු පක්‍ෂි, වෘත්තීය සමිති, සිවිල් ක්‍රියාධරයන් මැදිහත් විය යුතු යැයිද ඉදිරියේදී මේ පිළිබඳ වරාය තුළ ජනමත විමසුමද පැවැත්වීමට කටයුතු කරන බවද ඔහු වැඩිදුරටත් පැවැසීය.

-අනුරාධා හේරත්-