බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ චාල්ස් කුමරුගේ පුතුන් දෙදෙනා වන විළියම් හා හැරී සම්බන්ධ විවිධ පුවත් වරින්වර එරට මාධ්‍ය තුළ ආන්දෝලනාත්මකව පළවේ. මේ වනවිට රජ පවුලේ ආරංචි වලින් කියැවෙන අලුත්ම පුවත
වන්නේ මේ දක්වා විළියම් යුවළත් හැරී යුවළත්
එක්වී රජ පවුලේ පුණ්‍යාධාර වැඩසටහන් එකම ආයතනයක් හරහා සිදු කළත් මින් පසු එයින් ඉවත්ව හැරී හා මෙගන් වෙනම ආයතනයක් පිහිටුවන්නට යන බවයි.
මෙයට හේතුව කේට් හා මෙගන් අතර ඇතිවූ මත භේදයක් බවද බ්‍රිතාන්‍යයේ ඇතැම් පුවත් වාර්තා කර තිබේ.
මීට ටික දිනකට පෙර සසෙක්ස් රෝයල් නමින් නව ඉන්ස්ටර්ග්‍රෑම් පිටුවක් ආරම්භ කරන්නටද මෙගන් කටයුතු කළ අතර ඒ හරහා ඔවුන්ගේ සමාජ සත්කාර වෙනම වාර්තා කරන්නට පටන් ගත්තාය.
කෙසේ වෙතත් රජ මැදුරට සම්බන්ධ නිල නිවේදන මගින් මෙම මතභේදය වසන් කර ඇත. ඔවුන් පවසා ඇත්තේ වඩාත් පුළුල් සේවාවක් සඳහා මෙලෙස ආයතන දෙකකට බෙදී ගිය බවයි. කෙසේ වෙතත් මේ දක්වා සාර්ථකව පවත්වාගෙන ආ රාජකීය මානසික සෞඛ්‍ය වැඩසටහන සඳහා මෙම යුවළ දෙකම දායකත්වය සපයනු ඇති බවද වාර්තා කර තිබේ.