කැලණියේ පට්ටිය කැලණිතිස්ස මාවතේ සුඛෝපභෝගී දෙමහල් නිවෙසක් තුළදී යුද හමුදා විශේෂ බළකාය පරිහරණය කළ විශේෂ ගණයේ ගිනි අවියක්, අයිස් මත්ද්‍රව්‍ය හා තියුණු ආයුධයක් සමඟ පුද්ගලයකු යුද හමුදාව
හා පොලිසිය එක්ව කළ ඒකාබද්ධ වැටලීමකදී අත්අඩංගුවට ගත් බව පෑලියගොඩ පොලිසිය කියයි.

ඔස්ට්‍රේලියාවේ නිෂ්පාදිත නයින් එම්.එම්. වර්ගයේ ගිනි අවියක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් පනහක්, කඩුවක් හා බැටන් පොල්ලක් සැකකරු සමඟ අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. අත්අඩංගුවට ගත්

මෙම පුද්ගලයා පාතාල නායක දෙමටගොඩ චමින්ද නමැත්තාගේ සමීපතම ඥාති පුත්‍රයෙක් බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් මෙම සැකකරු මීට වසර හතකට පෙර අතුරුදන් වූ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන කුඩු මර්වින්  නමැත්තාගේ පුතකු බව පොලිස් නිලධාරියෙක් පැවැසිය. මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් සිරගතව සිට මිට වසරකට පෙර නිදහස් පැමිණ තිබූ මෙම පුද්ගලයා ඔහු සිදුකරන අනෙකුත් ව්‍යාපාරවලට මුවා වී අයිස් මන්ද්‍රව්‍ය ජාවාරම සිදුකරන බවට පෑලියගොඩ පොලිසියට ලද තොරතුරක් අනුව මට්ටක්කුලිය යුද හමුදා කඳවුරේ නිලධාරීන් සමඟ ඒකාබද්ධව සිදු කළ වැටලීමේදී දෙමහල් නිවෙසේ සඟවා තිබූ ගිනි අවිය හා අයිස් මන්ද්‍රව්‍ය ඇතුළු අනෙකුත්  දෑ හමු වූ බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් පුද්ගලයාගෙන් ප්‍රශ්න කිරීමේදී පාතාල තර්ජන තිබෙන හෙයින් මිතුරකු ලවා ගිනි අවිය මිලදී ගත් බව පැවසී යැයි පොලිස් නිලධාරියකු පැවැසිය. 25 වැනි වියේ පසුවන සැකකරු ගරාජයක්, නිවාඩු නිකේතනයක් හා තවත් ව්‍යාපාරික ස්ථාන රැසක හිමිකරුවකු බව පොලිසිය සඳහන් කරයි. සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

-එම්.සී.පෙරේරා-