https://www.gossiplankanews.com/2019/06/shafie-cid-report.html
සිංහල මව්වරුන් වඳ කළ බවට කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය ෂාෆි ශිහබ්දීන් සම්බන්ධයෙන් පසුගිය කාලයේ පළවූ චෝදනාකාරී මාධ්‍ය වාර්තා පිළිගත හැකි කරුණු වාර්තාවී නැති බවට හා ඔහු වරදක් කර ඇති බවට මව්වරුන් කළ චෝදනා රැසක්ම හුදු සැකය මත ගෙන ආ පැමිණිලි බවට අද අධිකරණයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරුණු දන්වා ඇත.
ෂාෆි සම්බන්ධයෙන් කළ විමර්ශනයේදී මව්වරුන්ගේ පැලෝපීය නාල අවහිර කළ බවක් හෝ
ත්‍රස්තවාදී සංවිධානයකට සම්බන්ධ බවක් හෝ අයතා වත්කම් ඉපැයූ බවක් හෝ මෙතෙක් කිසි ලෙසකින් හෝ අනාවරණය නොවූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (27) කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඒ අනුව දැනුම්දී ඇත.

වෛද්‍ය සාෆි ශිහබ්දීන් සම්බන්ධ පැමිණිල්ල අද පස්වරු 2.00 ට කුරුණෑගල

මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවූ අවස්ථාවේ පිටු 210කින් යුත් වාර්තාවක් ඉදිරිපත් කරමින් රහස් පොලිසිය මේ බව දැනුම් දුන්නේය.

මෙම වෛද්‍යවරයා සිංහල මව්වරුන් 3479 ක්, මුස්ලිම් මව්වරුන් 860 ක් සහ ද්‍රවිඩ මව්වරුන් 33ක්  සිසේරියන් සැත්කම්වලට භාජනය කර ඇතැයි කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂවරයා අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කර තිබූ අතර වෛද්‍යවරයාගේ සැත්කම්වලින් පසු ආසාත්මිකතා ඇති වූ බව කියමින් රහස් පොලිසියට ලැබුණු පැමිණිලි 615ක් අතුරෙන් පැමිණිලි 468ක් ගැන අධිකරණයට කරුණු වාර්තා කර තිබුණි.
ඒවා අතුරෙන් විමර්ශන මට්ටමේ ඇති පැමිණිලි 147ක් පමණක් හඳුනාගත හැකි බවත් ඒ අතුරෙන් මව්වරුන් 13 දෙනකු විශේෂඥ කමිටුවට යොමු කළ බවත්, එයින් පරීක්ෂණයට භාජනය කළ යුතු තත්වයේ සිටින්නේ දෙදෙනකු පමණක් බවත්, ඉතිරි පැමිණිලි 11 අසත්‍ය බවත් රහස් පොලිසිය දැනුම් දුන්නේය.

මෙම සිද්ධියට අදාළ මව්වරුන්

ලබන 30 වැනිදා එම පරීක්ෂණයට යොමුකිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරන ලදී.
එම සිද්ධිය සම්බන්ධයෙන් පත්කර ඇති විශේෂඥ වෛද්‍ය මණ්ඩලයට පරීක්ෂණය සිදුකරන්නේ කෙසේද යන්න යොමුකර අධිකරණයට වාර්තා කරන ලෙස ද පැවසීය.

වෛද්‍ය සාෆි සමඟ වැඩ කළ වෛද්‍යවරුන්, හෙදියන් සහ කාර්ය මණ්ඩලයේ විශාල පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කළ බවත්, සාෆි වෛද්‍යවරයා මෙවන්නක් කර නැතැයි ඔවුන්ගේ ප්‍රකාශ අනුව තහවුරු වූ බවත් රහස් පොලිසිය දැනුම් දුන්නේය.
වෛද්‍ය සාෆි ශිහබ්දීන් මහතා අත්අඩංගුවට ගැනීමේ දී අක්‍රමිකතා සිදුවී ඇති බව ද රහස් පොලිසිය කීවේය.
සාෆි වෛද්‍යවරයා සම්බන්ධ චෝදනා අනාවරණය නොවන නිසා ඔහු තවදුරටත් රඳවා තබා ගැනීම ගැන ආරක්ෂක ලේකම්වරයා සමඟ සාකච්ඡා කර තීරණයක් ගන්නා බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දුන්නේය.