එංගලන්තයේ සිට තැපැල් මඟින් ගෙන්වා විදේශීය සංචාරකයන් සඳහා මරිජුවානා අලෙවි කළ පස්දෙනාගේ කල්ලියේ තිදෙනකු කටාන පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත. කටාන තැපැල් කාර්යාලයට ලැබුණු සැක සහිත පාර්සලයක් පිළිබඳව තොරතුරක් කටාන පොලිස් ස්ථානයේ පාලන අංශයේ ස්ථානාධිපති පොලිස්
පරික්ෂක සෙනෙවිරත්න
මහතාට ලැබී ඇති අතර මේ අනුව තැපැල් කාර්යාලය තුළ සහ පිටත නිලධාරින් රඳවා මෙම සැකකටයුතු පාර්සලය රැගෙන පිටතට පැමිණෙමින් සිටි පුද්ගලයා සහ ඔහු සමහ යතුරුපැදියකින් පැමිණ සිටි පුද්ගලයකු පළමුව අත්අඩංගුවට ගෙන ඇත්තේ තැපැල් කාර්යාලයේදිය.

මොවුන් අත්අඩංගුවට ගෙන කළ විමර්ශනවලදි තැපැල් මඟින් එවන ලද පාර්සලයේ මරිජුවානා ග්‍රෑම් 230ක් තිබී සොයාගෙන ඇති අතර ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ තොරතුරු අනුව මෙම පාර්සලය ගෙන යෑමට පැමිණි පුද්ගලයකුද පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කොවිචිකඩේ බෝලවලානේ සහ කඳවල පදිංචිකරුවන් තිදෙනෙකි. මෙම කල්ලිය විසින් මෙම ජාවාරම කලක් තිස්සේ සිදුකර ඇති බව මෙතෙක් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇති අතර අනෙක් සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට කටාන පොලිසිය වැඩිදුර පරික්ෂණ කරයි.