දක්ෂිණ අධිවේගී මාර්ගයේ අදියර හතරෙහි සේවයේ නියුතු කම්කරුවන්ට මාස 02ක් තිස්සේ වැටුප් නොගෙවීමට විරෝධය පළ කරමින් කම්කරුවෝ පිරිසක් මත්තල පිහිටි චයිනා හාබර් චීන ඉදිකිරීම් සමාගමේ ප්‍රධාන කාර්යාලයේ ගේට්ටුව අවහිර කරමින් ඊයේ (24දා) දහවල් විරෝධතාවක නිරත වූහ. දක්ෂිණ අධිවේගී
මාර්ගයේ අන්දරවැව සිට හම්බන්තොට, මත්තල දක්වා වූ අදියර හතර කොටසෙහි සේයේ නියුතු කම්කරුවෝ පිරිසක් මෙලෙස විරෝධතාවයේ නිරත වූහ.

විරෝධතාකරුවන් පවසන්නේ මාස දෙකක් තිස්සේ තමන්ට හිමි වැටුප් අදාළ කොන්ත්‍රාත් සමාගම විසින් මෙතෙක් ලබාදී නොමැති බවත්
වැටුප් ලබාදෙන දිනයක් පිළිබඳ විමසුවත් ඊට නිසි පිළිතුරක් වගකිව යුතු පාර්ශව ලබා නොදෙන බවය.

මාස දෙකකට වැඩි කාලයක් තිස්සේ දෛනික වැටුපකට වැඩ කළ තමන්ට මෙතෙක් වැටුප් නොලැබීම නිසා දැඩි අසරණ තත්ත්වයට තමන් පත්ව ඇති බවත් ඒ නිසා තමන්ට හිමි වැටුප් ඉල්ලා මෙලෙස විරෝධතාවයේ නිරත වන බවත් කම්කරුවෝ පවසති. විරෝධතාකරුවන් මත්තල පිහිටි චින ඉදිකිරීම් සමාගමේ ප්‍රධාන කාර්යාලයට යන මාර්ගය අවහිර කරමින් විරෝධතාවයේ නිරත වන අතර මේ ගැටලුව සඳහා විසඳුමක් ලබාදෙන තෙක් ඔවුන් මේ ස්ථානයෙන් පිටව නොයන බවද පැවැසිය.මේ සම්බන්ධයෙන් අප ඉදිකිරීම් සිදුකරන චීන සමාගමෙන් විමසීමට උත්සාහ කළද කිසිවකුත් ඊට පිළිතුරු නොදිණි.

-ඩී.එන්.ජයසේකර-