නිසි පරිදි බලපත්‍ර නොමැතිව අලී ඇතුන් පස්දෙනකු සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි සමරප්පුලිගේ නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් ඇතුළු විත්තිකරුවන් 08 දෙනකු නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට කොළඹ ත්‍රිපුද්ගල
මහාධිකරණ විනිසුරු මඬුල්ල පෙරේදා (24දා) නියෝග කළේය. විකුම් කළුආරච්චි, ධම්මික ගනේපොළ සහ ආදිත්‍ය පටබැඳි යනමහත්වරුන්ගේන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය කරන ලදී.

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි මේ පිරිස අතර වනජීවී දෙපාර්තමේන්තුවේ හිටපු සහකාර අධක්‍ෂවරයකු වූ උපාලි පද්මසිරි සහ එම දෙපාර්තමේස්තුවේ ලිපිකාරිනියක වූ ප්‍රියංකා සංජීවනී නමැත්තිය ද වෙති. මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකරුවන්ට විවෘත අධිකරණය හමුවේ චෝදනා පත්‍ර භාර දෙන ලදී. ඉන් අනතුරුව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියේ
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා මෙම විත්තිකරුව ඇප මත මුදා හැරීම සම්බන්ධයෙන් සිය එකඟතාව පළ නොකරන බව සඳහන් කළේය.

ඒ අනුව විත්තිකරුවන් නඩුව අවසන්  වනතුරු රිමාන්ඩ් භාරයට පත් කරන ලෙස රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. මෙම විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියේ  මෙම විත්තිකරුවන්ව දැනටමත් මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් ඇප මත මුදාහැර තිබෙන බැවින් එම පෙර ඇපය මතම විත්තිකරුවන් මුදාහරින ලෙස ඔවුන්ගේ නීතිඥවරු  අධිකරණයෙන් ඉල්ලා සිටියහ.

එහෙත් නියෝගය ප්‍රකාශයට පත් කරමින් ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල සඳහන් කළේ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 450 වැනි වගන්තියට අනුව නීතිපතිවරයා එකඟතාව  පළ නොකරන අවස්ථාවක විත්තිකරුවන්ට ඇප ලබා දීම සඳහා තම අධිකරණයට බලයක් නොමැති බවයි. ඒ අනුව විත්තිකරුවන්ගේ ඇප ඉල්ලීම ප්‍රතික්‍ෂේප කර විත්තිකරුවන් නඩුව අවසන් වනතුරු රිමාන්ඩ් භාරයට පත් කිරීමට  විනිසුරුවරු නියෝග කළහ.

නඩුව නැවතත් අගෝස්තු මස 02 වැනිදා කැඳවීමට නියම විය. බලපත්‍ර නොමැතිව අලි ඇතුන් 05 දෙනකු සන්තකයේ තබා ගනිමින් ජාවාරම් කිරීම තුළින් පොදු දේපළ පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් අලී රොෂාන් ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව  මෙම නඩුව ගොනුකර තිබේ.

-කේ.එස්.උදයකුමාර්-