https://www.gossiplankanews.com/2019/07/800-muralitharan-film.html
ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ට ක්‍රිකට් පන්දු යවන්නා මුත්තයියා මුරලිදරන්ගේ ජීවිත කතාව ඇතුළත් චිත්‍රපටයක් නිර්මාණය කිරීමට ඉන්දියානු සිනමා සමාගමක් කටයුතු කරමින් සිටින බව වාර්තා වෙයි.
2011 වසරේදී මුරලිදරන් විසින් සිය ජීවිත කතාව පොතක් ලෙස මුද්‍රණය කර තිබූ අතර
එයට නම් තබා තිබුනේ '800' ලෙසයි. ඒ ඔහු සපුරා ගන්නා ලද ටෙස්ට් කඩුළු ගණන සංකේතවත් කරමිනි.
මුරලිගේ ක්‍රිකට් ජීවිතය අඩාළ කරන්නට එල්ලවූ තර්ජන අභියෝග මෙන්ම ඒවා ජයගන්නට ඔහු නොසැලී ක්‍රියා කළ ආකාරය මෙම කතාවේදී කියැවෙන අතර ක්‍රීඩාවට ළැදි අයට මෙන්ම වෙනත් ඕනෑම ක්ෂෙත්‍රයක තම ඉලක්කය සපුරාගැනීම වෙනුවෙන් අනවරත උත්සාහයේ යෙදෙන්නන්ට මෙම කෘතිය තුළින් පාඩම් උගත හැකි විය.
මුරලිගේ 800  නම්වූ ස්වයං චරිතාපදානය සිනමා කෘතියක් බවට පෙරළිමට ඉන්දියානු සමාගම උනන්දු වී ඇත්තේ මුරලි ගැන

ලංකාවේ පමණක් නොව ඉන්දියානු ලක්ෂ සංඛ්‍යාත ප්‍රේක්ෂකයින් අතරද විශාල උනන්දුවක් භක්තියක් ඇති බැවිනි.

දමිළ සිනමාවේ ප්‍රකට නළු විජේ සෙතුපාති මෙහිදී මුරලිදරන්ගේ චරිතයට පණ පොවනු ඇති බවත් වාර්තාවේ. මෙහි වැඩි 2019 දෙසැම්බරයේ ආරම්භ වන බවත් ශ්‍රී ලංකාව ඉන්දියාව හා එංගලන්තයේ රූගත කිරීම් සැලසුම් කර තිබෙන බවත් වාර්තාවේ.

විජේ සෙතුපාති Soodhu Kavvum හා Vikram Vedha චිත්‍රපට නිසා ප්‍රකට වූ නළුවෙකි.
ක්‍රිකට් දැවැන්තයින්ගේ ජීවිත කතා නිර්මාණ ඉන්දියානු සිනමාවට ආගන්තුක නැත. මින් ඉහත ඉන්දීය ක්‍රීඩක කපිල් දේව්ගේ ජීවිත කතාවට බොලිවුඩ් නළු රන්වීර් සිං පණ පොවන ලද අතර එයද ජනප්‍රිය විය.

මුත්තයියා මුරලිදරන්ගේ 800 චිත්‍රපටයේ පිටපත මේ වනවිට ලියා අවසන් බවද වාර්තා වෙයි. එහි මුරලිගේ දුස්රා පන්දු යැවීම, අතේ ඇදය නිසා ඇතිවූ ප්‍රශ්න, ඔහු දෙමළ ජාතිකයෙකු වූ නිසා පැනනැගි ගැටලු මෙන්ම පසුකාලීනව ඉන්දියානු ජාතික බිරියක සමග යුග දිවියට පිවිසීම ගැන පවා විස්තර ඇතුළත් කර ඇතැයි වාර්තාවේ.