මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින කොත්මලේ ගාමිණී දිසානායක ජාතික පාසලේ ඉගෙනුම ලැබූ සිසුවියක් ඊයේ (25දා) හදිසියේම රෝගාතුරවී, කොත්මලේ ප්‍රාදේශිය රෝහලට ඇතුළත් කිරිමෙන් පසුව
මියගොස් ඇත.
එලෙස අවාසනාවන්ත අන්දමින් මියගොස් ඇත්තේ කුඹල්ඔලුව, කිරිඳිවෙල පදිංචි ඊ.ජී. අයේෂා මධුවන්ති නමැති 19 හැවිරිදි සිසුවියකි. ඇය මෙවර උසස් පෙළ විභාගයට තාක්ෂණවේදය අංශයෙන් පෙනී සිටින සිසුවියකි.

විභාග ප්‍රවේශ පත්‍රය ලබා ගැනීම සඳහා පාසලට පැමිණ ගුරුවරයකු ලබාදෙමින් සිටි උපදෙස් පන්තියකට සහභාගි වෙමින් සිටියදී ඇය හදිසියේම රෝගාතුරවී ඇති බව විදුහල්පති ප්‍රියන්තසිරි ආරියසේන මහතා පවසයි. ඇයට තවත් සහෝදරියන් දෙදෙනකු සිටින අතර පියා අංශභාග රෝගයට ලක්ව ප්‍රතිකාර ලබන අයකු බව වාර්තාවේ. සිරුර අධිකරණ වෛද්‍ය පරීක්ෂණයක් සඳහා නාවලපිටිය මූලික රෝහලට රැගෙන ගොස් ඇති අතර කොත්මලේ පොලිසිය පරීක්ෂණ කරයි.

-මාධව බණ්ඩාර-