https://www.gossiplankanews.com/2019/07/badurdeen-speaks.html#more
“මට අක්කර තුන්දහසක් තිබෙන බවට චෝදනා කරනවා. මගේ පවුලටම තියෙන්නේ අක්කර පනපහයි. අක්කර තුන්දහසක් මට අයිති නම් ඒ ඉඩම් ආණ්ඩුවට ගන්න” යැයි හිටපු ඇමැති පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාඩ් බදියුදීන් පාස්කු ඉරිදා සිදුවූ ත්‍රස්තවාදී ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා පැවැත්වෙන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ සාක්‍ෂි දෙමින්
පැවැසිය.

සහරාන් සමඟ එකට ඡායාරූපවලට පෙනී සිටි බවට පැවසෙන ප්‍රකාශ සම්පූර්ණයෙන්ම අසත්‍ය බව සඳහන් කළ සාක්ෂිකරු තමා සහරාන් දුටුවේ මෙම සිද්ධියෙන් පසු මාධ්‍යයෙන් පළවූ ඡායාරූප මඟින් යැයිද පැවැසීය. තේරීම් කාරක සභාවේ සභාපති - “ඔබට විරුද්ධව විවිධ චෝදනා එල්ල වී තිබෙනවා. පාස්කු ඉරිදා සිදුවූ මේ ත්‍රස්තවාදී කටයුතුවලටත් ඔබේ සම්බන්ධතාවක් පැවැති බවට චෝදනා එල්ල වෙනවා. ඔබට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක්ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් වුණා.”

සාක්ෂිකරු - “මට විරුද්ධව බරපතළ චෝදනා දහයක් යටතේ විපක්‍ෂයේ මන්ත්‍රිවරු පිරිසක් විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කරලා තිබුණා. මට විරුද්ධව මා ත්‍රස්තවාදී කණ්ඩායමට සම්බන්ධ බවට චෝදනා එල්ල කර තිබුණා.”

"මම සහරාන් කියන ත්‍රස්තවාදි නායකයා දැකලා නැහැ. ඔහුගේ ඡායාරූප මුල්වරට දැක්කේ පාස්කු ඉරිදා ත්‍රස්තවාදි ප්‍රහාරයෙන් පස්සේ. මාධ්‍යවලින් පළ කළාට පස්සේ තමයි දැක්කේ."

“පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ වූ අය ඉස්ලාම් නම තිබුණාට අපි ඔවුන් පිළිගන්නේ නැහැ. අපි මේ කාලකණ්ණි ත්‍රස්තවාදීන් සිදුකළ ප්‍රහාරය නිසා විනාශ වූ ජීවිත සහ තුවාලකරුවන් ගැනත් කනගාටු වෙනවා. ඒ ත්‍රස්තවාදින්ගේ මළමිනී කාත්තන්කුඩි කනත්තේ වළ දමන්නටත් අපි ඉඩ දුන්නේ නැහැ.”

රවි කරුණානායක - "අයි.එස්.අයි.එස්. ඔබ පිළිගන්නවද?"

සාක්ෂිකරු - "නැහැ. මුස්ලිම් ආගමේ මිනිස්සු මරාදැමිම පිළිගන්නේ නැහැ."


රවි කරුණානායක - “සතොස ආයතනයට අයත් වාහන මේ ක්‍රියාවලට ලබාදුන්න බව කියනවා. ඇත්තද?"

සාක්ෂිකරු - "සතොස වාහන ත්‍රස්තවාදී කටයුතුවලට ලබාදුන්නා කියලා විපකෂයේ මන්ත්‍රිවරු මට විරුද්ධව චෝදනා කළා. දින 52 ආණ්ඩුවට සම්බන්ධ වෙන්න කියලා මට කතා කළ අවස්ථාවේ මම ඒකට එකඟ වුණේ නැහැ. ඒ නිසා තමයි මට මේ අන්දමට බරපතළ චෝදනා එල්ල කළේ ඒ මන්ත්‍රිවරු දෙන්නෙක්. මේ සම්බන්ධයෙන් මට විරුද්ධව පොලිසියට පැමිණිලි කළේ නැහැ. මම ඒ අයට විරුද්ධව වැඩ බලන පොලිස්පතිතුමාට පැමිණිලි කළා."

රවි කරුණානායක - “මේ සිද්ධියට සම්බන්ධ බව කියන අලවුදින් ඔබේ පක්‍ෂයේ භාණ්ඩාගාරික නේද?"

සාක්ෂිකරු - "ඔහු මගේ පක්ෂය ආරම්භ කළ අවස්ථාවේ භාණ්ඩාගාරික තනතුරට පත් කරගත්තා. ව්‍යාපාරිකයකු වන ඔහු ව්‍යාපාරික  කටයුතු නිසා ඒ තනතුර භාරගන්න බැහැ කීවා. පසුව උප භාණ්ඩාගාරික හැටියට පත් කළා.”

නලින්ද හේරත් - “මේ සිද්ධියේදී බලපෑම් කරපු බවට ඔබට විරුද්ධව චෝදනා කෙරුණා.”

සාක්ෂිකරු- “මුයිනුදීන් කියන පුද්ගලයා පොලිසියෙන් රැගෙන ගොස් තිබ්බෙනවා. ඔහු ඉන්නේ කොහෙද කියලා සොයලා දෙන්න කියලා ඔහුගේ තාත්තා මගෙන් ඉල්ලුවා. මම පොලිසි කිහිපයකට කතා කළා. හමුදාපතිවරයාටත් කතා කළා. ඔහු ගැන අවුරුදු එකහමාරකින් අහන්න කිව්වා."
“තුන්පාරක් හමුදාපතිතුමාට කතා කළාට පස්සේ මුයිනුදීන් අපේ භාරයේ ඉන්න බව ඔහු මට දැනුම් දුන්නා."

නලින්ද ජයතිස්ස - “මේ සම්බන්ධයෙන් ඔබ ආරක්‍ෂක ඇමැතිවරයාට කතා කළාද?"

සාක්ෂිකරු - "ආරක්‍ෂක ඇමැතිට කතා කළේ නැහැ."

නලින්ද ජයතිස්ස - “ඔබ ආරක්ෂක රාජ්‍ය ඇමැතිවරයාට කතා කළාද?"

සාක්ෂිකරු - “මම ඩී.අයි.ජී. වික්‍රමසිංහට කතා කළා. එතුමා කිව්වා හමුදාවෙන් අහන්න කියලා. මම කතා කළේ ඔහුගේ තාත්තට ඕන වෙලා තිබුණේ මයිනුදින් ඉන්නේ කොතැනද? ඔහු ජීවත්ව ඉන්නවද කියලා දැනගන්න. ඔහු වැරැද්දක් කරලා තියෙනවා නම් දඩුවම් දිය යුතු බව ඔහු කීවා."

නලින්ද ජයතිස්ස - “ඔබ මාධ්‍යයට කියලා තිබුණා ආරක්ෂක රාජ්‍ය ඇමැතිටත් කතා කළා කියලා.”

සාක්ෂිකරු - "ඔව් මම කතා කළා. එතුමා කිව්වා පොලිසියෙන් අහන්න ඕන කියලා."

සරත් ෆොන්සේකා - “මම හමුදාපතිතුමාගෙන් ඇහුවා මේ අවුරුදු එකහමාරකින් අහන්න කියලා කිව්වේ විහිළුවටද කියලා.”

ආශු මාරසිංහ - "ඔබ හමුදාපතිවරයා හඳුනනවද?"

සාක්‍ෂිකරු - “හමුදාපති වුණාට පස්සේ මම හඳුනා ගත්තා. ඊට කලින් ඔහු ගැන හැඳිනීමක් තිබුණේ නෑ.”

ආශු මාරසිංහ - “මොහමඩ් ඉබ්‍රාහිම් ඔබ හඳුනනවද?"

සාක්ෂිකරු - "ඔහු කොළඹ වෙළෙඳ සංගමයේ සභාපති. මම වෙළෙඳ ඇමැතිවරයා හැටියට ඉබ්‍රාහිම් මහතා මා හමුවී තිබෙනවා.”

ආශු මාරසිංහ - “මේ ඡායාරූපයෙහි ඔබ ළඟින්ම ඉන්නවා. ඔහු ඔබේ අමාත්‍යාංශයේ තනතුරක් දරනවද?" (ඡායාරූපයක් පෙන්වයි)

සාක්ෂිකරු - “ඔහුට සහ ඔහුගේ කිසි කෙනෙක්ට මගේ අමාත්‍යාංශයේ තනතුරු ලබාදිලා නැහැ. තනතුරු දරන්නේ නැහැ."

ආශු මාරසිංහ - “ඔහුගේ පුතා ඔබ හඳුනනවද?"

සාක්ෂිකරු - “ඔහුගේ විවාහ මංගල්‍යය උත්සවයට ගියා.”

ආශු මාරසිංහ - "ඔහු ඔබේ අමාත්‍යාංශයේ උපදේශක තනතුරක් දරනවද?"

සාක්ෂිකරු - "නැහැ. කිසිම තනතුරක් දරන්නේ නැහැ."

ආශු මාරසිංහ - “ඉබ්‍රාහිම් ඉම්නසාඩ් අහමඩ්; කොලෝනියල් ඉන්සයිඩ් ආයතනයේ සභාපතිට හිස් පතරොම් කොපු ලබාදෙන්න නිර්දේශ කළාද?"

සාක්ෂිකරු - "මේ ඉල්ලීම් ලැබී තිබුණා. මේ අමුද්‍රව්‍ය ලබාදුන් ආකාරය සොයා බැලීමට මම කමිටුවක් පත් කළා. ඒ වාර්තාවෙන් සඳහන් වූ නිර්දේශවලට අනුවයි අමුද්‍රව්‍ය නිකුත් කළේ."

ආශු මාරසිංහ - “මේ ඉබ්‍රාහිම් පවුලේ අයට ගම්මිරිස්, කරුංකා ව්‍යාපාරවලට උදවු කළාද?"

සාක්ෂිකරු - “එතුමා මගෙන් ඇවිල්ලා උදවු ඉල්ලලා නැහැ. මා හමුවන්නේ කලම්බු ට්‍රේඩර්ස් ඇසෝසියේෂන් එකේ නියෝජිතයන් සමඟ.”


ආශු මාරසිංහ - "ඔබතුමා ටෙන්ඩර් බෝඩ්වලට බලපෑම් කළාද?"

සාක්ෂිකරු - "මම බලපෑම් කරලත් නැහැ. කරන්නෙත් නැහැ."

නලින්ද ජයතිස්ස - “තුර්කි තානාපති කාර්යාලයෙන් කිව්වා තුර්කියෙන් පුහුණුව ලබපු 50 දෙනෙක් ලංකාවට ඇවිත් ඉන්නවා කියලා. ඒ බව මතකද?"

සාක්ෂිකරු - “මම ඒ බව දැනගත්තේ මාධ්‍යයෙන්."

නලින්ද ජයතිස්ස - “මේ ප්‍රශ්න සම්බන්ධයෙන් ඔබතුමා විසින් ආරක්ෂක අංශවලට කිසිම තොරතුරක් ලබාදිලා නැහැ. සමහර මවුලවිවරු මේ ගැන පොලිසියට තොරතුරු ලබාදුන්නා."

සාක්ෂිකරු - “මම මේ ත්‍රස්තවාදයට සම්බන්ධ වෙන්නේ නැහැ. සහරාන් කියන්නේ මවුලවි කෙනෙක් කියලා කියනවා. මම දේශපාලනඥයකු වශයෙන් ඒවට සම්බන්ධ වෙන්නේ නැහැ."

නලින්ද ජයතිස්ස - “මේ ප්‍රශ්න ඇති වෙන්නේ කාත්තන්කුඩි ප්‍රදේශයේ. සමහර මවුලවිවරු පොලිසියට තොරතුරු දෙනවා නම් ඇයි ඔබ ඒ ගැන නොදන්නේ?"

සාක්‍ෂිකරු - “මේ සහරාගේ වැඩපිළිවෙළ ගැන අපට දැනගන්න ලැබෙන්නේ මාධ්‍යයෙන්.

ආශු මාරසිංහ - “ඔබතුමා කිව්වා සහරාත් හම්බ වෙලා නැහැ කියලා.”

සාක්ෂිකරු - “ඔව්. හමු වෙලා නැහැ."

ආශු මාරසිංහ - “එහෙනම් මේ ඡායාරූපයේ ඉන්නේ කවුද? ඡායාරූපයේ ඔබත් සමහ ඉන්නේ සහරාන් නෙවෙයිද?"( ඡායාරූපයක් පෙන්වයි).

සාක්ෂිකරු - “ඒ සහරාන් නෙවෙයි. මම තිහාරියේ තිබුණු උත්සවයක ප්‍රධාන අමුත්තා හැටියට ගිය අවස්ථාවේ ගත් ඡායාරූපයක්. ඒකේ ඉන්නේ නිස්තාර් මවුලවිතුමා. ඒ ඡායාරූපයේ ඉන්නේ තමා මිස සහරාන් නෙවෙයි කියලා නිස්තාර් මවුලවිතුමා පොලිසියට පැමිණිලි කරලා තියෙනවා.”

රවි කරුණානායක - “දෙමටගොඩ සිද්ධියෙන් මැරුණේ ඔබේ අම්මගේ සහෝදරියගේ දුව කියනවා නේද?"

සාක්‍ෂිකරු - “දෙමටගොඩ සිද්ධියෙන් මැරුණේ අලදින්ගේ දුව නෙවෙයි. ඒ මගේ අම්මගේ සහෝදරියගේ දුව කියලා
කියන එක වැරදියි. මගේ අම්මට සහෝදරියක් නැහැ. මේ හැම දෙයක්ම කියන්නේ විරුද්ධ පක්ෂය යේ මන්ත්‍රිවරු දෙන්නෙක්. දින 51 ආණ්ඩුවට සම්බන්ධ වෙන්න කියලා මට කතා කළා. මම ගියේ නැති නිසා මට විරුද්ධව නොයෙක් ප්‍රකාශ කරනවා."

රවි කරුණානායක - “මේ ත්‍රස්ත ක්‍රියා ඇති නොවෙන්න ඔබ ඔබේ දායකත්වය දෙන්නේ කොහොමද කියලා කියන්න පුළුවන්ද?"

සාක්ෂිකරු - “මම අවුරුදු ගණනක් කඳවුරුවල දුක්වින්දා. ඒ නිසා මේ ත්‍රස්තවාදය ගැන මම දන්නවා. මේ සිද්ධිය වුණාට පස්සේ කාදිනල්තුමා කටයුතු කළ ආකාරය ගැන මම එතුමාට ප්‍රශංසා කරනවා. දේශපාලන පක්‍ෂ තමන්ට ඡන්ද ලබා ගන්න මේ සිද්ධිය උපයෝගි කරගන්නේ නැතිව මේ සිද්ධියට සම්බන්ධ සියලුදෙනාම අත්අඩංගුවට අරගන්න ඕන බෞද්ධ ආගමික නායකයෝ, කතෝලික ආගමික නායකයෝ සියලු දෙනාම සම්බන්ධ කරගෙන. ඒ වගේම මුස්ලිම් ආගමික නායකයන් සම්බන්ධ වෙලා කටයුතු කරන්න ඕන. මේක දේශපාලන වාසි ගැනීමට උපයෝගි කරගන්න හොඳ නැහැ. මේක සම්පූර්ණයෙන්ම තුරන් කරන්න. අපි රට ගැන හිතලා සියලුදෙනාම එකතු වෙලා වැඩපිළිවෙළක් කරන්න ඕන."

රවි කරුණානායක - "මේ අයි.එස්.අයි.එස්. ප්‍රතික්‍ෂේප කරන්නේ නැත්තේ ඇයි?"

සාක්ෂිකරු - "අපි මුස්ලිම් මැති ඇමැතිවරු අයි.එස්.අයි.එස්. ප්‍රතික්‍ෂේප කළා.”

රවි කරුණානයක - “විල්පත්තුව සම්බන්ධයෙන් ගත්තම එහි ඉඩම් ඔබතුමාට තිබුණයි කියනවා. ඒක ඇත්තද?"

සාක්ෂිකරු - “ත්‍රස්තවාදයෙන් පස්සේ කමිටුවක් මඟින් තමයි පදිංචි කිරීම් කළේ. ගිය ආණ්ඩුව කාලේ තමයි කළේ. විල්පත්තු වනෝද්‍යානයේ එක පවුලකටවත් ඉඩම් දුන්නේ නැහැ. මන්නාරම දිස්ත්‍රික්කයෙන් තමයි ඉඩම් දුන්නේ. විල්පත්තුවේ එක පවුලක්වත් පදිංචි වෙලා නැහැ.  මන්නාරමේ තමයි ඉඩම් දීලා තියෙන්නේ.”

සරත් ෆොන්සේකා - "විල්පත්තුවෙන් එළියේ ඉඩම් තීරුවක් තියෙනවා. ඊට උඩින් ගමක් තිබිලා තියෙනවා. යුද්ධ කාලේ ඒ ගමේ මිනිස්සු අතහැරලා ගිහිල්ලා තියෙනවා. එළියේ තීරයේ හදෙනෙක් ගෙවල් හදලා තියෙනවා. ඒ අයට විරුද්ධ නඩු පවරලා තියෙනවා. ඒ ගෙවල්වලට මෙතුමා සම්බන්ධ නැහැ."

නලින්ද ජයතිස්ස - "කල්ලාරු රක්ෂිතයේ ගෙවල් 41ක් ලබාදිපු සිද්ධියක් විගණකාධිපති වාර්තාවේ සඳහන් වෙලා තියෙනවා."

සාක්ෂිකරු - “මේ සම්බන්ධයෙන් වාර්තාවක් හදලා තියෙනවා. ඒ වාර්තාව ගැන පරික්ෂණ පවත්වනවා.”

නලින්ද ජයතිස්ස - “මන්නාරම ප්‍රදේශයේ ඔබතුමාට හෝ පවුලේ අයට අක්කර තුන්දහසක් තියෙනවා. ඒකට මොකද කියන්නේ?"

සාක්‍ෂිකරු - “මට අක්කර තිස්දහසක් කියලා කියනවා. හත්දහසක් තියෙනවා කියලා කියනවා. මට අක්කර තිස්දහසක්, හත්දහසක් නැහැ."

ආශු මාරසිංහ - "එහෙනම් ඔබේ පවුලට අස්කර කීයක් තියෙනවද?"

සාක්ෂිකරු - “මගේ පවුලට අක්කර 55ක් තියෙනවා. අක්කර තුන්දහසක් තියෙනවා නම් ඒවා ආණඩුවට ගන්න කියලා කියනවා."

“මගේ සහෝදරයා අත්අඩංගුවට ගත්ත බව 'දිවයින' පත්‍රයේ පළවී තිබුණා. මගේ සහෝදරයා අත්අඩංගුවට ගත්තේ නැහැ. මම උපන් මන්නාරමේ තාරාපුරම් ගමේ හමුදාව සහ පොලිසිය පරික්ෂා කරලා තියෙනවා. මගේ සහෝදරයා සමඟ වාහනය පරික්ෂා කරලා නිදහස් කරලා තියෙනවා . මේකෙ වෙනස් ආකාරයට මාධ්‍යයේ පළ වුණා."

නලින්ද ජයතිස්ස - “ඩෙටනේටර් හයක් සමහ රිෂාඩ්ගේ සම්බන්ධීකරණ ලේකම් කෙනෙක් අත්අඩංගුවේ කියලා තියෙනවා.”

සාක්ෂිකරු - "සනූස් කියලා හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් සැකපිට අත්අඩංගුවට ගෙන නිදහස් කර තිබෙනවා. ඔහු මගේ සම්බන්ධිකරණ නිලධාරියෙක් නෙවෙයි."

ආශු මාරසිංහ - “ඔබේ සහෝදරයකුට අයත් නිවෙසක් වත්තල ප්‍රදේශයේ ත්‍රස්තවාදින්ට කුලියට දිලා කියලා තියෙනවා. ඒක ඇත්තද?"

සාක්ෂිකරු - “මගේ නංගිගේ ස්වාමිපුරුෂයාගේ පියාට අයිති ගෙයක් වත්තල තියෙනවා. ඒක කුලියට දිලා තියෙන්නේ ලිසිං එකකට. නංගිගේ ස්වාමිපුරුෂයාගේ සහෝදරයෙක් තමයි ඒක දිලා තියෙන්නේ. ඒක නංගී දිලත් නෑ.
එයාගේ ස්වාමිපුරුෂයා දිලත් නෑ."

රාජිත සේනස්නාරත්න - “රිෂාඩ් බදියුදීන් ඇමැතිතුමා, ඔබතුමා හිතන්නේ නැද්ද මේ මුස්ලිම් දේශපාලන නායකයන්ට විරුද්ධව මාධ්‍ය මඟින් අසත්‍ය චෝදනා නැඟීම නිසා මේ දෙවන වටයේ ගිනි තැබීම් සිදුවුණා කියලා."

සාක්ෂිකරු - "ගෙවල් 171ක් කඩලා විනාශ කරලා තියෙනවා. කඩසාප්පු ගිනි තියලා තියෙනවා. බොරු ප්‍රකාශ නිසා තමයි මේ සියලු සිද්ධින් සිදුවෙලා තියෙන්නේ. පල්ලි 33ක් කඩලා තියෙනවා. 83 ජූලි වගේ සිද්ධියක් ඇති කිරිමේ අරමුණ වගේ මට පේනවා. මේ සිද්ධිවලට සම්බන්ධ වෙච්ච අයට උපරිම දඬුවම් දෙන්න.”

නලින්ද ජයතිස්ස - "පසුගිය කාලේ සමහර තැන් අරාබිකරණය වෙලා තියෙනවා නේද? ඔය ජාසිම් සිටි වගේ."

සාක්ෂිකරු - "අරාබි රටවලින් ලැබුණු ස්ථානවල එහෙම තියෙනවා."

රාජිත සේනස්නාරත්න - “ඔබ පිළිගන්නේ නැද්ද පාරවල් ආදිය අරාබි අකුරුවලින් නම් කිරීම සුදුසු නැහැ කියලා. අපි කාරක සභාව තීරණය කරලා තියෙනවා පාරවල්වල අරාබි අකුරුවලින් නාම පුවරු සවිකිරිම අත්හිටුවන්න."

සාක්ෂිකරු - “ඔව් මමත් පිළිගන්නවා. අරාබි අකුරුවලින් පාරවල්වල නාම පුවරු සවි කිරීම සුදුසු නැහැ. අපේ කුරානය ගැන අන්‍ය ආගමික නායකයන් විවිධ ප්‍රකාශ කරගෙන යනවා. අපේ රට ඇතුළේ සිංහල, මුස්ලිම් අය අතර භේද ඇති කිරීමට කටයුතු කළ යුතු නැහැ. අපේ මවුරට. ඒ රට ආරක්ෂා කරගන්න ඕන. සෞදි අරාබියේ නීතිය මෙහෙට ගේන්න අපට අවශ්‍ය නැහැ. අපේ රටේ නීතියට අනුව අපි ක්‍රියා කරන්න ඕන. අපි රටේ නීතියට ගරු කරනවා. වැරදි මතයක් සිංහල සමාජය අතරට ගෙන යන්න එපා.”

සරත් ෆොන්සේකා - “පිත්තල කම්හලෙන් අත්අඩංගුවට ගත් පිරිස අතුරින් කිහිපදෙනෙක් නිදහස් කළේ ඔබතුමාගේ සම්බන්ධතාවක් නිසා බවට විශ්වාසභංග යෝජනාවේ සඳහන් වෙනවා. ඒ ගැන මොකද කියන්නේ?"

සාක්ෂිකරු - "මගේ එහෙම සම්බන්ධයක් නැහැ."

සරත් ෆොන්සේකා - "ඔබතුමා ආශ්‍රය කරන ඔබේ උපදේශක මවුලවි කෙනෙක් මේකට සම්බන්ධ බවට විශ්වාසභංග යෝජනාවේ සඳහන් වෙනවා.”

සාක්ෂිකරු - "කිසිම මවුලවිවරයෙක් මගේ උපදේශකවරයකු වශයෙන් නැහැ. ඔය කියන මවුලවිවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.”

සරත් ෆොන්සේකා - “ඔබ ඇමැති ධුරයේ සිටීම ත්‍රස්තවාදි විමර්ශන කටයුතුවලට බාධාවක් බවත් විශ්වාසභංග යෝජනාවේ සඳහන් වෙනවා."

සාක්ෂිකරු - “මම ඇමැතිකමෙන් ඉල්ලා අස්වුණා. දැන් විමර්ශන කටයුතු කරන්න පුළුවන්.”

-රුචිර දිලාන් මධුසංඛ-