යාපනය පේදුරුතුඩුව මාර්ගයේ ආරම්භයේම පිහිටි පළතුරු වෙළෙඳ සලක් වැටලූ යාපනයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පළතුරු වෙළෙඳසලේ වූ සියලූ‍ පළතුරු සමග වෙළෙන්දා 22 දා අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම වෙළෙන්දා විසින් පළතුරු ඉදවීමට මිනිස් ආහාරයට නුසුදුසු රසායන ද්‍රව්‍ය භාවිත කරන බවට ලද පැමිණිලි තුනක් මත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් එම පළතුරු වෙළෙඳ සල වටලා තිබුණි.

නිලධාරීන් එම වෙළෙඳ සල
පරීක්ෂා කළ අවස්ථාවේදී පලතුරු ඉදවීම සඳහා මේ වෙළෙන්දා විසින් භාවිත කරන ලද විවිධ වර්ගවලට අයත් රසායන ද්‍රව්‍ය බෝතල් හයක් එම වෙළෙඳ සල තුළ තිබී සොයා ගෙන ඇත.

වෙළෙඳ සලේ තවත් මුල්ලක තිබී රසායන ද්‍රව්‍ය හා ජලය කළවම් කරන ලද බේසමක් ද හමු වී තිබේ.

වෙළෙඳ සලේ තවත් පසෙක ටැංකියක් ඉදිකොට එම ටැංකියට ජලය පුරවා ඊට රසායන ද්‍රව්‍ය කළවම් කොට කෙසෙල් කැන් පිටින්ම එම ටැංකියේ ඔබා ඒවා ඉදෙන්නට සලස්වන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් සිදු කරන ලද පරීක්ෂණවලදී හෙළි වී තිබේ.

මෙම වෙළෙඳ සලෙන් මිලට ගත් පළතුරු අනුභව කිරීමෙන් පසුව කුඩා ළමයින් දෙදෙනකු වමනය කිරීම නිසා ඒ පිළිබඳව විපරම් කොට බැලීමේදී පළතුරුවලින් දැඩි කටුක ගඳක් වහනය වී තිබේ.

අනතුරුව එම පළතුරු සමග අදාළ පුද්ගලයින් ගොස් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට පැමිණිලි කොට තිබේ.

අත්අඩංගුවට ගත් වෙළෙන්දා යාපනය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ.

දිනසේන රතුගමගේ