සුගිය කාලයේ විදෙස් ගතව වෛද්‍ය ප්‍රතිකාර කළ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහිව අයථා ලෙස රජයේ මුදල් පරිහරණය ගැන නීතිපතිවරයා විසින්
ගොනුකර ඇති නඩුවේ සාක්ෂි විභාගය ආරම්භ කිරීම තාවකාලික ලෙස අත්හිටුවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝගයක් නිකුත් කර ඇති හෙයින් මෙම නඩුවේ සාක්ෂි විමසීම කල් දමන බවත් ඒ අනුව නඩුව අගෝස්තු මස 30 වැනිදා යළි කැඳවන ලෙස ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද නියම කළේය.
මෙම නඩුව අද (26) ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවන අවස්ථාවට ගෝඨාභය රාජපක්ෂ පැමිණියද නඩුව කල්දැමීම නිසා කිසිවක් කීමට අවශ්‍ය නොවීය.
හම්බන්තොට මැදමුලන ප්‍රදේශයේ පිහිටි ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී ශ්‍රී
ලංකා ඉඩම්
ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් ව තිබූ රුපියල් මිලියන  33.9 ක මුදලක්
සාවද්‍ය ලෙස පරිහරණය කිරීම, ආධාර අනුබල දීම සහ ඊට කුමන්ත්‍රණය කිරීම ඇතුළු චෝදනා
සම්බන්ධයෙන්  පොදු දේපොළ පනතේ  5(1) වගන්තිය සහ දණ්ඩ නීති සංග්‍රහයේ 388 යන වගන්තිය
යටතේ මෙම නඩුව ගොනු කර තිබුණි.
අභියාචනාධිකරණය හමුවේ තිබෙන ඉල්ලීම ඊයේ සලකා බැලුණ නිසා මෙම වෙනස ඇති විය.

මීට අමතරව ගෝඨාභය රාජපක්ෂට එරෙහි ඇවන්ගාර්ඩ් නඩුවත් කල් දමා තිබේ.

අල්ලස් කොමිසම විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර තිබූ එම නඩුව නීතිවිරෝධී යැයි තීන්දු
කොට එම චෝදනාවෙන් තමන්ව නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම්
ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමට අදාළ තීන්දුව ප්‍රකාශ කිරීමද
අභියාචනාධිකරණය විසින් අගෝස්තු මස 30 වනදා තෙක් කල් දමා තිබේ.

මෙම තීන්දුව අද අචල වෙන්ගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ
ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණි.
ඇවන්ගාඩ් සමාගමට ගාලු වරායේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අනුමැතිය දීම
තුළින් රජයට රුපියල් බිලියන 11.4 පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනු කර තිබුණි.