මාර්තු 31 දිනෙන් අවසන් වන 2019 වර්ෂයේ පළමු කාර්තුවේදී එක්සත් ජනපද පුරවැසිභාවය අවසන් කළ පුද්ගලයන් පිළිබඳව ඇමෙරිකා එක්සත් ජනපදය විසින් නිකුත් කරන ලද නම් ලැයිස්තුවේ ආරක්ෂක
අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම ඇතුළත් නොවන බව වාර්තාවී තිබේ.

මෙම ලැයිස්තුව 'ෆෙඩරල් රෙජිස්ටර්' වෙබ් අඩවියේ 2019 මැයි 13 දිනැති අභ්‍යන්තර ආදායම් සේවයේ දැන්වීමක් ලෙස පළ කර තිබේ.

මේ අතර හිටපු අගවිනිසුරු අශෝක ද සිල්වා
මහතා කැලිෆෝනියාවේ මධ්‍යම දිස්ත්‍රික්කය වෙනුවෙන් එක්සත් ජනපද දිස්ත්‍රික් උසාවියේ ප්‍රකාශයක් ගොනු කරමින් කියා සිටියේ ගෝඨාභය රාජපක්ෂ මහතා තම ඇමරිකානු පුරවැසිභාවය අත්හැරීම සඳහා කොළඹ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලයට 2019 අප්‍රේල් 17 වැනි දින ලිපිලේඛන ගොනු කළ බවයි.

දෙවන කාර්තුවේදී එක්සත් ජනපද පුරවැසිභාවය අවසන් කර ඇති පුද්ගලයින්ගේ ලැයිස්තුව ළඟදීම නිකුත් වීමට නියමිත අතර එය බොහෝ විට අගෝස්තු මස තුළදී නිකුත් වෙතැයි අපේක්ෂා කෙරේ. කෙසේ වෙතත් අගෝස්තු මස 11 වැනි දින කොළඹදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික මහා සම්මේලනයේදී එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා නම් කරනු ඇති බවට එම පක්ෂය පවසයි. ඒ වනවිටත් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ එක්සත් ජනපද පුරවැසිභාවය ඉවත් කළ බවට නිල නිවේදනයක් නිකුත්ව නොතිබුණහොත් ව්‍යවස්ථානුකූලව ඔහුගේ ජනාධිපති අපේක්ෂකත්වය පිළිබඳ ගැටලු මතු වනු ඇත. කෙසේ වෙතත් නොවැම්බර් 15 සහ දෙසැම්බර් 7 යන දෙදින අතර දිනකදී මීළඟ ජනාධිපතිවරණය පැවැත්විය යුතු බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඊයේ පවසා ඇත.

[උපුලි ජයරත්න]