රජයේ ප්‍රබල අමාත්‍යවරයකුට අයත් සමාගමක් දඹදෙණිය මැතිවරණ කොට්ඨාසයේ සාරවත් ඉඩම්වල වගා කර ඇති වසර 10ක් 12ක් තරම් වයසැති පැළ පොල් ගස් දහස් ගණනක් කපා ඉවත් කර අධිවේගී මාර්ගයේ
සංවර්ධන කටයුතු මුවාවෙන් පස් ජාවාරමේ නිරත වන බව එක්සත් ජාතික නිදහස් පෙරමුණේ දඹදෙණිය, ප්‍රධාන සංවිධායක සුදත් පෙරේරා මහතා පවසයි.

මධ්‍යම අධිවේගී මාර්ගයේ සංවර්ධන කටයුතු සඳහා දඹදෙණිය මැතිවරණ බල ප්‍රදේශයේ විවිධ සමාගම් විසින් බලපත්‍ර නොගෙන බොරලු පස් කපන අතර අදාළ ඇමැතිවරයාගේ සමාගමට කිසිදු බලපත්‍රයක් නොමැතිව පස් ජාවාරමේ නිරත වන බවත් බලපත්‍ර සහිත සමාගම් මධ්‍යම අධිවේගී මාර්ගයට පමණක් බොරලු පස් ලබාදිමක් සිදුකරන අතර මෙම සමාගම ඒ මුවාවෙන් පිටස්තර පුද්ගලයන්ට හා විවිධ සමාගම්වලට වැඩි මිලට පස් විකුණනු

ලබන බවත් සුදත් පෙරේරා මහතා පෙන්වාදෙයි.

බලපත්‍ර ලබාගෙන බොරලු පස් කපා අධිවේගී මාර්ගයට බොරලු පස් ලබාදෙන සමාගම්වල වැඩබිම් වෙත පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් හදිසියේ වැටලිම් කර විවිධ හේතු දක්වමින් වාහන හා පුද්ගලයන් අධිකරණය වෙත ඉදිරිපත් කළද බලපත්‍ර රහිතව පස් ජාවාරමේ යෙදෙන අදාළ ඇමැතිවරයාට සම්බන්ධ සමාගමේ කිසිදු වැඩබිමක පොලිසිය හෝ පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් කිසිදු වැටලීමක් සිදුකොට නොමැති බවත් අදාළ සමාගම ඇතුළු සමාගම් හතරක් මඟින් අලව්ව-ගිරිඋල්ල මාර්ගය කාපට් කර සංවර්ධනය කිරීමට කොන්ත්‍රාත් ගිවිස ගෙන තිබූ අතර අනෙකුත් සමාගම් තුනම තමන්ට පැවරුණු කොටස ඉතා ඉක්මනින් සංවර්ධනය කර භාරදී තිබුණද අදාළ සමාගම පමණක් භාරගෙන තිබූ කොටස පමණක් ඉබිගමනේ සිදුවෙමින් පැවතිණි.

එහිදි ජනතාවගේ උඝෝෂණය නිසා අදාළ සමාගමටද එය ඉතා ඉක්මනින් සිදුකිරීමට සිදුවිය. එයද කිසිදු ප්‍රමිතියකින් තොරවය. මෙම සමාගම විසින්ද මධ්‍යම අධිවේගී මාර්ගයේ කොටසක් සංවර්ධනය කිරීමට භාරගෙන ඇත. එහෙත් එම සමාගමට සම්බන්ධ සේවකයන්ට මාස කිහිපයකම වැටුප් ගෙවීමට ඇත. මේ තත්වය මත අදාළ සමාගමේ සේවකයන් රැකියාව අතහැර යන තැනට පත්ව ඇත.

-රෝහිත ශ්‍රි හේමන්ත-