මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව තමා ගෙන යන වැඩ පිළිවෙළ සහ ඊට දෙන නායකත්වය නිසා තමා විනාශ කිරීමේ විශාල කුමන්ත්‍රණයක් තිබෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (02) පොළොන්නරුවේ සිරිපුරදී ප්‍රකාශ කළේය.

ඒ පිටුපස සිටින්නේත් වියදම් කරන්නේත් කුඩු ජාවාරම්කාරයන්  යැයිද ජනාධිපතිවරයා කීය.

මත්ද්‍රව්‍ය මර්දනයේදී කුඩු ජාවාරම්කාරයින් කුඩ්ඩන් වෙනුවෙන් සමාජ මාධ්‍ය ජාලා  විශාල වශයෙන් පෙනී සිටින බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

මත්ද්‍රව්‍ය විරෝධී සටන අඩපණ කරන්නට විශාල පිරිසක් අද උසාවි යන බව කී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මානව හිමිකම් බාස්ලා හිර ගෙදර ඉන්න මත් කුඩු ජාවාරම්කාරයන් වෙනුවෙන් පෙනී සිටින්නට පටන් ගෙන තිබෙන බවද පැවැසිය.

ආණ්ඩුවයි. විපක්ෂයයි. එන්.ජී.ඕයි තවත් සමාජයේ බොහෝ අය විශාල වශයෙන් තමන්ට පහර දෙන්නට පටන්ගෙන තිබෙන බවද ඒ සමගම තමන්ට ජීවිත කර්ජනත් එල්ලවී තිබෙන බවද බුද්ධි අංශ ඒ ගැන වාර්තා කර ඇතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

තමන් ආවේ කවුරුවත් රකින්නට නොව සහ ජනතාව රකින්න බව පැවැසූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හොරකම, දූෂණය, වංචාව නාස්තිය කවුරු කළත් දඬුවම් ලබා දෙන බවද ප්‍රකාශ කළේය.

ඉහළ දේශපාලන නායකයින් කෝටි ප්‍රකෝටි ගණනක් හොරකම් මංකොල්ල දූෂණ වංචා කරන විට තමන්ට බලාගෙන ඉන්නට පුළුවන්කමක් නැති බවත් ඒ සියල්ලටම කොමිසන් පත්කළ බවත් ජනාධිපතිවරයා කීය.

ශ්‍රී ලංකන් ගුවන් සේවය පිළිබඳව පත්කළ ජනාධිපති කොමිසමේ වාර්තාව අද ලැබුණු බව කී ජනාධිපතිවරයා එහිද හොඳ හොඳ සෙල්ලම් තිබෙන බව කීය.

හෙට අනිද්දා වන විට ඒ වාර්තාව එළිදක්වන බවත් පාලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් ජනාධිපතිවරයා සඳහන්  කළේය.

ජනාධිපතිවරයා මෙසේ අදහස් පළකළේ මහවැලි ජනපදිකයින් සඳහා ඉඩම් ඔප්පු පිරිනැමීම නිමිත්තෙන් සිරිපුර මධ්‍ය මහා විද්‍යාලයේ ඊයේ පැවැති උත්සවයකදීය.


(පොළොන්නරුව ක.ග. කරුණාරත්න)