https://www.gossiplankanews.com/2019/07/malinga-fairwell-updates.html
ශ්‍රී ලංකාව හා බංගලාදේශය අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (26දා) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදි දිවා/රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වීමට නියමිතය. ඒ අනුව තරග 3කින් සමන්විත මෙම තරගාවලිය සඳහා
සහභාගි වීමට නියමිත ක්‍රීඩකයන් 16 දෙනකුගෙන් යුත් අවසන් සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මඟින් පසුගියදා නිවේදනය කළේය.

එහිදී මින් පෙර නම් කරන ලද 22 දෙනකුගෙන් සමන්විත වූ මූලික සංචිතයට ඇතුළත්ව සිටි නිරෝෂන් දික්වැල්ල, ධනුෂ්ක ගුණතිලක, ලක්ෂාන් සඳකැන්, ළහිරු මධුසංක සහ අමිල අපොන්සු හට එහි ස්ථාන අහිමිව ගොස් ඇත. ලෝක කුසලාන සංචිතය සඳහා නම් නොකළ අකිල ධනංජයට මෙම 16 දෙනාගේ සංචිතයේ ස්ථානයක් හිමිව තිබීම කැපී පෙනෙන සිදුවීමකි.

තවද දෙවැනි සහ තුන්වැනි තරග සඳහා දසුන් චානක ඇතුළත් කිරීමටත් පියවර ගෙන තිබීම

විශේෂත්වයකි.කෙසේ වෙතත් අද තරගය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ සූදානම් සම්බන්ධයෙන් ඊයේ (25දා) පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් එහි නායක දිමුත් කරුණාරත්න පවසා සිටියේ ලසිත් මාලිංග සහභාගි වන අවසන් එක්දින ජාත්‍යන්තර තරගය ජයගෙන ඔහුට ජයග්‍රාහී සමුදිමක් ලබා දිම තම අරමුණ බවයි.

“ලසිත් මාලිංග ගේ සමුගැනීම වෙනුවෙන් තරගය ආරම්භ කිරීමට පෙරත් තරගයෙන් පසුවත් අපි උත්සව කිහිපයක් සංවිධානය කරල තිබෙනවා. ඔහුගේ අවසන් තරගය ජයගෙන ඔහුට සමුදීමට හැකි නම් හොඳම සමුදීම එය බව අපේ හැඟීමයි. එම නිසා මෙම තරගය ජයගෙන සතුටින් ඔහුට සමුදීමට අපි හැකි උපරිම ශක්තිය යොදවන්න බලාපොරොත්තු වෙනවා.” යනුවෙන් පැවැසීය.

අද තරගය සඳහා භාවිත වන තණතිල්ල සහ කණ්ඩායමේ සංයුතිය සම්බන්ධයෙන්ද එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා නායකයා “තරගය සඳහා යොදාගන්නා තණතීරුව පිතිකරුවන්ට වඩාත් යෝග්‍ය තණතීරුවක් විය හැකියි. එය තීරණය කළ හැක් පරීක්ෂා කිරීමෙන් අනතුරුවයි. මේ තණතීරුවෙන් වේගපන්දු යවන්නන්ටත් යම් සහායක් දැක්වීමට ඉඩක් පවතීවි.

බංග්ලාදේශ කණ්ඩායම සතුව පිට දඟ පන්දු යවන්නන් දෙදෙනකු ක්‍රීඩා කිරීමට හැකි නිසා පිතිකරණ අනුපිළිවෙළත් යම් තරමක වෙනසක් දැකිය හැකි වේවි.  කොහොම වුණත් ළහිරු තිරිමාන්න තවදුරටත් අංක 6 පිතිකරුගේ වගකීම ඉටුකරාවි.” යනුවෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් දිමුත් පැවසීය.
මේ අතර ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගි වූ බංගලාදේශ කණ්ඩායමේ සාමාජිකයන් වූ සකිබ් අල් හසන්, ලිතන් දාස් සහ මෂ්රෆී මොර්ටාසා මෙම තරගාවලිය සඳහා සහභාගි නොවීම නිසා එහි නායකත්වය ආරම්භක පිතිකරු තමීම් ඉක්බාල් හට හිමිව තිබෙන නතර, බංගලාදේශ නායකයා මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පවසා සිටියේ පළමු වරට නායකත්වය හිමි වීමෙන් අනතුරුව ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන මෙම තරගාවලිය අතිශයින් අභියෝගාත්මක තරගාවලියක් වනු ඇති බවයි.

එමෙන්ම සකිබ්, මොර්ටාසා සහ ලිතන් දාස් ක්‍රීඩා නොකළද නවක ක්‍රීඩකයන් තම වගකීම නිසි අයුරින් ඉටු කරනු ඇති බවද වැඩිදුරටත් අදහස් දැක්වූ බංග්ලාදේශ නායකයා ප්‍රකාශ කළේය.

-ගමිත දෙහිපිටිය-