පිටරටින් ගෙන්වූ කසළ සති ගණනක් තිස්සේ මෙහි තිබීම නිසා ඉන් අපේ රටේ පරිසරයට සිදුවිය යුතු හානිය මේ වනවිට සිදුවී හමාර යැයි මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඊයේ අනුරාධපුරයේදී පැවසීය.

අනුරාධපුර වලිසිංහ හරිශ්චන්ද්‍ර උද්‍යානයේ පැවැත්වෙන "එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා'' ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවයට සහභාගී වූ මංගල සමරවීර අමාත්‍යවරයා ප්‍රදර්ශන භූමියේ මාධ්‍ය කලාපයට පැමිණි අවස්ථාවේ මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් එසේ ප්‍රකාශ කළේය.

අමාත්‍ය මංගල
සමරවීර මහතා එහිදි මෙසේද කීය.

මා විදෙස්ගතව සිටියදී කසළ කන්ටේනර් සිද්ධිය ගැන දැනගත්තේ. ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් ලබාදෙන ලෙස ඒ අවස්ථවේදීම රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට දැනුම් දුන්නා.

අපි සම්පූර්ණ වාර්තාවක් පිටරටකට ඕස්ට්‍රේලියාවට ඇමරිකාවට යනකොට පිසින ලද කෑම ටිකක්වත් අරගෙන යන්නේ නැත්තේ ඒ තුළින් විෂබීජ ඒ රටවලට පැතිරී කෘෂිකර්මයට හානි වේය කියන භීතිකාව නිසයි.

නමුත් පිටරටවලට එපාවූ කුණු ශ්‍රී ලංකාවට ගෙන්නුවේ කවුද? ගෙන්නුවේ කොහොමද? ගෙනෙන්න අවසර දුන්නේ කවුද? යන්න එය සොයා බලා ඊට වගකිවයුතු ඒ උදවියගේ තරාතිරම නොබලා නීති මගින් දඬුවම් කිරීමට කටයුතු කරනවා.

ඒ වගේම ඒ කුණු ආපසු ආපු දිහාවටම යන්න ඕනෑ. නමුත් ඒක නොවෙයි විසඳුම, මේ වෙනකොට ඒ කුණු කසළ ලංකාවට ඇවිත් සති ගණනාක් තියේ තිබිලා සිද්ධ වියයුතු හානිය මේ වනවිට සිදුවී හමාරයි.

ඇත්ත වශයෙන්ම ඒවායේ තිබුණු විෂබීජ මේ වනවිටත් අපේ රටේ පරිසරයට මුසුවෙලා ඉවරයි. ඒ නිසා ඒ ගැනත් නීතිමය ක්‍රියා මාර්ග ගැනීමට කටයුතු කරන බවත් කිසි දෙයක් සැඟවීමේ අවශ්‍යතාවක් ආණ්ඩුවට නැති බවත් අමාත්‍යවරයා කියා සිටියේය.

(අතුල බණ්ඩාර)