කුලියාපිටිය උසාවියේ පවතින ලිංගික අතවර කිරීම් නඩුවකට සාක්ෂි නොදෙන ලෙසට තර්ජනයට කිරීමට දොළොස් හැවිරිදි දැරියක ඇස් බැඳ පැහැරගෙන ගොස් පාළු නිවසක රඳවා ගෙන සිටි බව කියන කල්ලියකට
අයත් සැකකාරියක් අගෝස්තු පළමු වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ රදවා තැබීමට අත්නනගල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා නියෝග කළේය.

 ගිරිඋල්ල මල්වත්ත ප්‍රදේශයේ පදිංචි විජේසුන්දරගේ ප්‍රියදර්ශනී සමන්කුමාරී නමැත්තියක් එසේ රිමාන්ඩ් කෙරිණි.

ලෝලුවාගොඩ ප්‍රදේශයේ පදිංචි දොළොස් හැවිරිදී දැරියක ඉකුත් 4 වැනිදා කිසියම් පිරිසක් විසින් පැහැරගෙන ගොස් තිබිණ.

රඳවාගෙන සිටි ස්ථානයෙන් පැනවිත් දැරිය කරන ලද ප්‍රකාශයකට අනුව මීරිගම පොලිසිය පරික්ෂණ පවත්වා සැකකාරිය අඩංගුට ගෙන තිබිණි.

දැරිය මහමඟ පා ගමනින් යමින් සිටිදී දෑස් බැඳ පැහැරගෙන ගොස් පාළු නිවසක රඳවාගෙන සිටි බවත් ඇය කුලියාපිටිය උසාවියේ විභාග වන ලිංගික අතවර නඩුවක සාක්කිකාරියක් බවත් එම නඩු විභාගයේදි සාක්ෂි නොදෙන ලෙසට තර්ජනය කරමින් රඳවාගෙන සිටියදී ඇය පැනවිත් පොලිසියට සිද්ධිය හෙළි කළ බවත් මීරිගම පොලිසියේ පොලිස් කොස්තාපල් එම්.ආර්.ජේ. හේරත් මහතා කරුණු දක්වමින් කියා සිටියේය.

 දැරියගේ ප්‍රකාශ අනුව වැඩිදුරටත් පරීක්ෂණ පවත්වා
සැකකාරිය අත්අඩංගුවිට ගත් බවත්, පැහැරගෙන යාමට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනකු සැගව සිටින හෙයින් ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා තවදුරටත් පරීක්ෂණ පවත්වා ගෙන යන බවත් පොලිස් කොස්තාපල්වරයා කීය.

නැවත කැඳවීම අගෝස්තු පළමු වැනිදාට කල් තැබිණ.