මෙලොව හැරගිය මවගේ සිරුර දින පහකට අධික කාලයක් තිස්සේ නිවෙසේ තබාගෙන සිට ගෙවත්තක් නොමැති සුවිසල් නිවෙසේ පිටුපස ‍දොරකඩ ආසන්නයේම මිහිදන් කළ පුතකු පිළිබඳ අනුරාධපුර ශ්‍රාවස්තිපුර ප්‍රදේශයෙන් වාර්තා විය. මීට දින හතකට පමණ ඉහතදී ව්‍යාපාරිකයකු බව කියන නිවෙස හිමි පුද්ගලයාගේ
මව හදිසියේ මියපරලොව ගොස් තිබෙන අතර ඇය මියගිය දිනයේ සිටම පුත්‍රයා විසින් සිය මවගේ දේහය නිවෙසෙහිම භූමදානය කළ යුතු බවට ඥාතීන්ට පවසා තිබේ.

එහෙත් නිවෙස පිහිටි භූමියේ සිරුර මිහිදන් කිරිමට තරම් ඉඩකඩක් නොමැතිවීම නිසා ඥාතීන් විසින් සිරුර සුසාන භූමියේ තැන්පත් කිරිමට යෝජනා කර ඇතත් සිරුර නිවසේ කාමරයක හෝ තැපත් කරන බව නිවෙස් හිමි පුත්‍රයා පවසා තිබේ.මේ හේතුවෙන් මියගිය කාන්තාවගේ පුත්‍රයා හා ඥාතීන් අතර විවිධ අදහස් පළවී ඇතත් ගෙවත්තේ සිරුර මිහිදන් කිරීමට ඉඩ නැති නිසා එය සුවිසල් නිවෙසේ පහළ මාලයේ කාමරයක
අනිවාර්යයෙන්ම මිහිදන් කරනා බව පුත්‍රයා පවසා තිබේ.

නිවෙසක් තුළ මළ පුද්ගලයකුගේ සිරුරක් මිහිදන් කිරීමට අවසරයක් ඇත්ද යන්න පිළිබඳ සුසාන භූමි ආඥාපනතට අනුව සොයා බැලීමෙන් පසුව එය නිවෙසේ මිහිදන් කිරීමට අවසරයක් ලැබී නැති බව අනාවරණය විය. ඒ අනුව දේහයක් තැන්පත් කිරීමට තරම් ඉඩක් නොමැති සුවිසල් නිවෙස පිහිටි භූමියේ පිහිටි ඉතා කුඩා ඉඩකඩක දේහය තැන්පත් කිරීම පසුගිය සිකුරාදා (19දා) සවස ආගමික වතාවත්වලින් පසුව සිදුකර තිබිණි.

නිවෙස පිහිටි භූමියේ ඉදිකර තිබෙන අලංකාර දේවාල මන්දිරය හා සුවිසල් නිවෙසේ පිළිකන්නේ තිබූ සුළු ඉඩකඩක සිරුර සහිත පෙටිටිය මිහිදන් කිරීම සිදු කෙරිණි. මියගිය මවට සුවෙන් සැතපීමට අක්කර ගණනක සුසාන භූමියක් තිබියදී පුත්‍රයා විසින් මවගේ දේහය නිවෙසේ පිළිකන්නේ වලලනු ලැබුවේ ඇයට ඇති දැඩි සෙනෙහස නිසාද නැත්නම් වෙනත් හේතුවක් නිසාද යන්න  සම්බන්ධයෙන් සිතාගත නොහැකි බව ගම්වැසියෝ පැවැසූහ.

මීට වසර කිහිපයකට ඉහතදී සුවිසල් නිවෙස් හිමි පුද්ගලයාට කිලෝග්‍රෑම් 150කට අධික බරින් යුතු රත්රන් තැඹිලි වලක් නිධානයකින් ලැබුණු බවට පැතිර ගිය ප්‍රචාරය හේතුවෙන් අවස්ථා කිහිපයකදී පොලිස් වැටලීම් කිහිපයක්ම සිදුවූ අතර නිවෙසේ කාමරයක වළදමා ඇති බව කියන එම රන් තැඹිලි වල්ල සොයා ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරින් කාමරයක පිහිටි බිම හාරා උත්සාහ කළ බවට නිවෙස් හිමියා මිට වසර දෙකකට පමණ ඉහතදී චෝදනා කළේය.

නිවෙස් හිමි පුද්ගලයාට පිළිකා රෝගීන් සුව කිරීම සඳහා දේ වරමක් ලැබී තිබෙන බවත් මරණාසන්න පිළිකා රෝගියකු සුවපත් කළ බවටත් රාවයක් පැතිර යයි. මවගේ සිරුර ඉඩ නොමැති ගෙවත්තේ මිහිදන් කිරීම පිළිබඳ ගම්මු මවිතවී සිටිති.

-මහේෂ් විජේසුරිය-